දකුණු අප්‍රිකානු ජනපති ධුරයෙන් සූමා ඉවත්වෙයි

Image copyright Reuters

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා වහාම ක්‍රියාත්මකවන පරිදි සිය පදවියෙන් ඉල්ලා අස්විය.

බදාදා සවස (පෙබ. 14) සිය තීන්දුව ජනතාවට දන්වනු ලැබුවේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි.

මීට පෙර, සූමා අයත්වන පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ඔහුට දන්වා තිබුණේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසය භංගය පිළිබඳ ඡන්ද විමසීමකට මුහුණ දෙන ලෙසය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ අභිනව නායක මෙන්ම නියෝජ්‍ය ජනාධිපති සිරිල් රමෆෝසා හට මාර්ගය විවර කරදෙන ලෙසට එල්ලවූ දැඩි පීඩනයට 75 හැවිරිදි ජේකබ් සූමාට මුහුණ දීමට සිදුවිණි.

2009 වසරේ බලයේ සිටින සූමා දූෂණ චෝදනා ගණනාවකට මුහුණ දී සිටී.

Image copyright EPA
Image caption ගුප්තා පවුල වෙසෙන ජොහැන්නස්බර්ග් නුවර පිහිටි නිවසට පොලිසිය බදාදා ඇතුළුවිය.

ඔහු සමග සමීප සබඳතා පැවති ඉන්දීය සම්භවයක් ඇති බලසම්පන්න හා ධනවත් ගුප්තා පවුල වෙසෙන ජොහැන්නස්බර්ග් නුවර පිහිටි නිවසට පොලිසිය බදාදා ඇතුළුවිය.

'විනයවත් ඒඑන්සී සාමාජිකයා'

ජනාධිපති සූමා සිය ඉල්ලා අස්වීමේ ප්‍රකාශය සිනහවෙන් ඇරඹුවේ, මාධ්‍යවේදීන් වෙතින් බරපතල බවක් පෙනෙන්නේ ඇයිදැයි කවටකම් කරමිනි.

ගෙවීගිය වසර ගණනාව පුරා තමන් සමග එකට ක්‍රියාකළ පුද්ගලයින්ට ගෞරවය පිදීමෙන් අනතුරුව ඔහු පැවසුවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුළ පවතින ප්‍රචණ්ඩත්වය මෙන්ම බෙදීම තමන්ගේ ඉවත්වීමට බලපෑ බවය.

"මං නිසා කිසිම ජීවිතයක් නැතිවෙන්න ඕන නැහැ. ඒ වගේම මං නිසා අප්‍රිකානු ජාතික කොංග්‍රසය කිසිදාක නොබෙදිය යුතුයි. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනරජයේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන තීරණයට මා එළඹුණා" යැයි ජේකබ් සූමා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මාගේ සංවිධානයේ නායකත්වයේ තීරණය සමග මා එකඟ නොවන නමුත්, මා සෑම විටම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විනයවත් සාමාජිකයෙකු වුණා" යනුවෙනි.

"මා ඉවත්ව ගිය ද දකුණු අප්‍රිකාවේ ජනතාවටත්, මා සේවය කළ සංවිධානය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසයටත් මගේ ජීවිතෙන් තවදුරටත් සේවය කරනවා" යැයි ද ජේකබ් සූමා කියා සිටියේය.

ඔහුගේ ඉවත්ව යාම "සැබවින්ම දකුණු අප්‍රිකානු ජනතාව වෙනුවෙන්" බව නිවේදනයක් නිකුත් කරමින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය පෙන්වා දුණි.

එහි නියෝජ්‍ය මහා ලේකම් ජෙසී දුආර්ටේ වාර්තාකරුවන් අමතමින් පැවසුවේ "ජනාධිපති සූමා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ මූලික සාමාජිකයෙකු ලෙස රැඳෙනවා. ඔහු දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ආචාර කරන්නට අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අවශ්‍යයි." යනුවෙනි.

වර්ණභේදවාදී සමයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයෙකු වූ ජේකබ් සූමා පක්ෂයේ විවිධ නිලතල හරහා ජනාධිපති ධුරය දක්වා පැමිණියේය.

නමුත් ඔහු ඉවත්ව යන්නේ ඔහු වටා ඇති අපචාර ක්‍රියා ගණනාවක චෝදනා ද සමගිනි.

සූමා ඉල්ලා අස්වීමට හේතුව කුමක් ද ?

අඟහරුවාදා රැස්වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජාතික විධායක කමිටුව ජේකබ් සූමා තනතුරින් ආපසු කැඳවීමට තීරණය කළ අතර ඔහුගේ ඉල්ලා අස්වීමට බදාදා දිනය අවසාන තෙක් කල් දුණි.

බ්‍රහස්පතින්දා විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඒඑන්සී ප්‍රධාන සංවිධායක ජැක්සන් ම්තෙම්බු නිවේදනය කළේ එය අවසන්වීමෙන් පසු හැකි විගස සිරිල් රමෆෝසා ජනාතිපතිවරයා ලෙස දිවුරුම් දෙන බව ද දක්වමිනි.

සූමාගේ ඉල්ලා අස්වුයේ ඉතා වේගයෙන් හටගත් සිදුවීම් කිහිපයකින් සමන්විත දිනයක ය.

එදින උදෑසන ම, සූමාට ඉතා සමීප වූ ඉන්දියාවේ උපන් ධනවත් ගුප්තා පවුල වෙසෙන ජොහැන්නස්බර්ග් නුවර පිහිටි නිවාස වැටලු පොලිසිය ඔහ්වුන් අත්අඩංගුවට ගත්තේය.

ජනාධිපතිවරයා සමග වූ සිය සමීප සබඳතාව හරහා විශාල වශයෙන් දේශපාලන බලපෑම් කළ බවට ගුප්තා පවුලට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් තමන් වැරදි කළ බවට එල්ල වූ චෝදනා සියල්ල දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප කළහ.

ජේකබ් සූමා ගේ ජීවිතයේ වැදගත් දින හතක්

  • 1942 අප්‍රේල් : ක්වාසුලු - නටාල් හි දුගී පවුලක උපන් සූමා, සිය වැන්දඹු මව විසින් ඇතිදැඩි කරන ලද අතර විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබීය.
  • 1959 : අප්‍රිකානු ජාතික කොංග්‍රසයට එක්විය. 1962 දී එහි සන්නද්ධ අංශයට එක්විණි.
  • 1963 අගෝස්තු : වර්ණභේදවාදී ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණ සූමා වසර දහයක කාලයක් නෙල්සන් මැන්ඩෙලා සමග රොබන් දූපතේ සිරගතව සිටියේය.
  • 1990 මාර්තු : කලක් පිටුවහල්ව සිටි ඔහු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තහනම ඉවත් කෙරුණු පසු යලි දකුණු අප්‍රිකාවට පැමිණියේය.වසර හතරකට පසු පක්ෂයේ මුල් තැනට පැමිණියේය.
  • 1999 ජුනි : වර්ණභේදවාදය අවසන්ව වසර පහක් ගතවූ පසු ඔහු දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා විණි. වංචා පිළිබඳ නඩුවක් හේතුවෙන් 2005 වසරේදී එම තනතුර අහිමි විය.
  • 2009 අප්‍රේල් : දූෂණ චෝදනා ඉවත්කරගනීමෙන් සති දෙකකට පසු ජේකබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති විය.
  • 2017 ඔක්තෝබර් : දූෂණ, වංචා, ජාවාරම් හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා 18 ට ඔහු මුහුණ දිය යුතු බව අභියාචන පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්