සිරිල් රමෆෝසා නව ජනපති

Cyril Ramaphosa Image copyright AFP

දකුණු අප්‍රිකාවේ නව ජනාධිවරයා වශයෙන් සිරිල් රමෆෝසා පත්කරනු ලැබ තිබේ.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ තීන්දුවක් ප්‍රකාර ජේකබ් සූමා බදාදා (පෙබරවාරි 14) රාත්‍රියේ පදවියෙන් ඉල්ලා අස් වූ අතර, බ්‍රහස්පතින්දා (පෙබරවාරි 15) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනපති පදවියට යෝජනා කෙරුණු එකම අපේක්ෂකයා සිරිල් රමෆෝසාය.

පදවියෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාස භංග යෝජනාවකට මුහුණදීමට සිදුවනු ඇති බව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ජේකබ් සූමාට දැනුම් දී තිබුණි.

ඒ අනුව වහාම පදවියෙන් ඉල්ලා අස්වන බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් නිවේදනය කළ ජේකබ් සූමා, එහෙත් සිය පක්ෂයේ තීන්දුවට එකඟ නොවන බව ද පැවසීය.

බරපතල දූෂණ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන අතර ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

තවත් කියවන්න:

බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී Economic Freedom Fighters නම් එක් විරුද්ධ පක්ෂයක් පමණක් සභාවෙන් පිටව ගියේය.

Image copyright Reuters

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය විසින් නව ජනාධිපතිවරයා නම් කරනු ලැබීමට විරෝධය පළකරන එම පක්ෂය, නව ජනපතිවරණයක් කැඳවන මෙන් ඉල්ලා සිටියි.

මේ අතර අප්‍රිකාවේ වඩාත්ම කාර්මික රාජ්‍යයේ සුක්කානම සිරිල් රමෆෝසා අතට පත්වීමත් සමග රටේ අනාගතය පිළිබඳව නව බලාපොරොත්තු දැල්වෙමින් පවතී.

විශේෂයෙන්ම මූල්‍ය වෙළෙඳපොළ ජේකබ් සූමාගේ ඉල්ලා අස්වීම අනුමත කරන හැඩක් දක්නට ලැබිණ.

එහෙත් ඔහුගේ පාලන සමය තුළ අත්කරගන්නා ලද ඇතැම් ජයග්‍රහණ පිළිබඳව ඇතැමුන් තවමත් කෘතවේදීව සිහිපත් කරන බව ජොහැන්නස්බර්ග් නුවර සිටින බීබීසී යේ මිල්ටන් න්කොසි සඳහන් කරයි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අය කළ මුදල අහෝසි කිරීම ඒ අතරින් ප්‍රධාන ජයග්‍රහණයකි.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජනාධිපති සූමාගේ විශේෂ නියෝජිතයා ලෙස එවකට උප ජනාධිපති පදවිය හෙබැවූ සිරිල් රමෆෝසා පත්කරනු ලැබිණ.

2014 ජුලි මාසයේ ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්