'සකසන ලද ආහාර' පිළිකා කාරකයක් විය හැකි ද?

  • 2018 පෙබරවාරි 18
Cancer Research Image copyright EPA

කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත.

මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය.

පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති.

සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද?

•මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග

•පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග

•චොකලට් සහ පැණි රස වර්ග

•සෝඩා සහ පැණි බීම වර්ග

•මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets)

•ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග

•ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර

•සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර

පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි.

අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි.

නමුත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සකසන ලද ආහාර පරිභෝජනයෙන් සිදු වන්නේ කුමක්ද?

පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාල කණ්ඩායමක් විසින් මිනිසුන් පරිභෝජනය කරන ආහාර පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලදී.

වසර පහකට ආසන්න කාලයක් නිරීක්ෂණයනයට ලක් වූ පිරිස අතරින් වැඩිදෙනා මැදි වයසේ කාන්තාවන්ය.

මෙම පරීක්ෂණයේ නිගමනයන්ට අනුව සකසන ලද ආහාර අනුභව කිරීම 10% කින් වැඩිවූ විට, හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 12% කින් වැඩි වන බව බ්‍රිතාන්‍යය සෞබ්‍ය සඟරාවක සදහන් වෙයි.

පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු:

•මිනිසුන්ගෙන් 18% ක් පමණ තම අහාර වේලට සකසන ලද ආහාර එකතු කර ගනියි.

•වසරකට මිනිසුන් 10,000 ක් අතරින් 79 දෙනෙකු පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි.

•සකසන ලද ආහාර අනුභවය කිරීම 10% කින් වැඩි කළ විට ඉහත සදහන් ප්‍රමාණයට අමතරව වසරකට තවත් නම දෙනෙකු පමණ පිළිකා රෝගීන් විය හැකිය.

තවත් තොරතුරු:

කැන්සර්සීක්; පිළිකා කල්තබා දැනගත හැකි රුධිර පරීක්ෂණයක්

පියයුරු පිළිකා ගැන ශ්‍රී ලංකාවේ පුරුෂයන් දැනුවත්ද?

පිළිකා අවදානමක් නිසා කාන්තාවකට ඩොලර් මිලියන එකසිය දහයක්

පිළිකා රෝගීන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් සේවයක්

"මෙම ප්‍රතිඑලවලින් ඇඟවෙන්නේ සකසන ලද ආහාර පරිභෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වීම නිසා මීලග දශක කිහිපය තුළ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි" බව පරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම තත්වයට හේතු වන කරුණු දැනගැනීමට සහ "මෙය ස්ථිර කරගැනීමට තවත් විශාල ප්‍රමාණයේ" ගවේෂණයක් සිදු කළ යුතු බවය.

'අනතුරු ඇඟවීමක්'

සකසන ලද ආහාර පරිභෝජනය පිළිකා වර්ධනය වීමේ අනිවාර්ය හේතුවක් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි නොවෙයි.

සකසන ලද ආහාර සියල්ල පිළිකා කාරක ලෙස හැදින්විය නොහැක.

මෙම ගවේෂණයේ බොහෝ අපැහැදිලි කරුණු ඇති අතර, පිළිකා වර්ධනය වීමට හේතුව සකසන ලද ආහාර අධික ලෙස පරිභෝජනය කරන්නන් අතර දැකිය හැකි වෙනත් හැසිරීම් රටා ද විය හැකිය.

දුම් පානය, උදාසීන බව, කැලරි අධික අහාර අනුභව කිරීම සහ ගැබ්ගැනීම වළක්වන ඖෂධ භාවිතය එම පුද්ගලයන් අතර බහුලව දැකිය හැකිය.

මෙම බාහිර කරුණු "සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි" බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

Image copyright Getty Images
Image caption ඔබ පරිභෝජනය කරන පාන් වර්ගය අනුව පිළිකා හටගැනීමේ අවධානම වෙනස් වෙනවාද?

"මේ වගේ කෑම වැඩි වශයෙන් කන විට ශරීරය මහත් වෙනවා, අධික තරබාරු බව පිළිකා හට ගැනීමේ අවධානම වැඩි කරනවා" යැයි පිළිකා මර්ධනය පිළිබදව එක්සත් රාජධානියේ පර්යේෂණ සිදු කරන මහාචාර්ය ලින්ඩා බවුල්ඩ් පැවසුවාය.

ඇය තව දුරටත් සඳහන් කරන්නේ මෙය "අපිට හිතකර ආහාර වේලක් ගැනීමට කළ අනතුරු ඇඟවීමක්. ඔබ පළතුරු, එළවලු වැනි කෙඳි සහිත අහාර වැඩිපුර අනුභව කරන්නේනම්, සකසන ලද ආහාර කුඩා ප්‍රමාණයක් එහෙන් මෙහෙන් පරිභෝජනය කිරීම පිළිබදව කනස්සල්ලට පත් විය යුතු නැත" යනුවෙනි.

'සකසන ලද ආහාර' යන්නෙහි තේරුම පැහැදිලි නැති බවට මෙන්ම මෙම ආහාර පිළිකා කාරකයක් ලෙස හැදින්වීමට බලපාන හේතු මෙම පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බවට බොහෝ අදහස් පළ වී ඇත.

මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන පාන්, සකසන ලද ආහාර ගණයට අයත් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි කර ඇතත්, නිවසේදී හෝ තම ප්‍රදේශයේ බේකරියේදී සාදා ගන්නා පාන් ගැන සඳහනක් නොමැති බව මහාචාර්ය ටොම් සැන්ඩර්ස් තම අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය.

මේ තොරතුරුද දැනගන්න:

දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්

මරු පරදා ජීවිතය ජයගත් දිරිය මවක්

කෝටි 25ක් දීල මාස 16යි; පෙට් ස්කෑනරය තාම නැහැ; "ලැජ්ජයි"