ජපානය: ලී භාවිත කර ඉදිකරන ලොව උසම ගොඩනැගිල්ල

  • 2018 පෙබරවාරි 21
Japan Image copyright SUMITOMO FORESTRY

සිය 350 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් 2041 වර්ෂය වන විට ලීයෙන් තැනූ ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කීමට ජපන් සමාගමක් පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.

මහල් 70 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල W350 ලෙස නම් කර ඇති අතර එය නිමවන්නේ යකඩ 10% ක් සහ වර්ග අඩි එක් ලක්ෂ අසූ දහසක් වූ දේශීය ලී එකතුවකින් බව සුමිටෝමොටෝ ෆොරෙස්ට්‍රි (Sumitomo Forestry) සමාගම පවසයි.

මෙම ගොඩනැගිල්ල කොළ අතු සහ ගස්වලින් සැරසුන සඳලුතල සහිත නිවාස අට දහසකින් සමන්විත වන බව ද සමාගම සඳහන් කරයි.

ලී සහ යකඩවලින් තැනෙන අඩි 1,150 ක කුළුණක් මධ්‍යයේ කම්පනය පාලනය කිරීම සඳහා යකඩ බට යුගලයක් සවි කිරීම මගින් ටෝකියෝ නුවර නිතර ඇතිවන භූ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම ගොඩනැගිල්ලට ලැබෙනු ඇත.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයවන වියදම?

සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට වැයවන මුදලට වඩා දෙගුණයක් මෙම සුවිශේෂී ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා වැය වන අතර, එය ජපන් යෙන් බිලියන හයසියයක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.6) ලෙස ඇස්තමේන්තු කර ඇත.

නමුත් 2041 වන විට සිදුවන තාක්ෂණයේ දියුණුවත් සමග වැයවන මුදල ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු විය හැකි බව සුමිටෝමොටෝ ආයතනය පවසයි.

ලීයෙන් තැනූ මහල් නිවාස නව අදහසක්ද?

නැත. 2010 වර්ෂයේදී සම්පාදනය වුණ නීති ප්‍රකාරව ඉදිකිරීම් සමාගම්, මහල් තුනක උසට අඩු ගොඩනැගිලි සඳහා ලී භාවිත කළ යුතුය.

ලෝකයේ සෑම ස්ථානයකම ලීයෙන් තැනූ ගොඩනැගිලි දක්නට ඇත. මිනියාපොලිස් නගරයේ පිහිටි මහල් දහ අටකින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල සහ වැන්කුවර් නගරයේ ඉදිකර ඇති මීටර් 53 ක් උස ශිෂ්‍ය නේවාසිකාගාරය ලෝකයේ දැනට පවතින ලීයෙන් තැනූ උසම ගොඩනැගිලි ලෙස වාර්තා වෙයි.

ලී ගොඩනැගිලි පරිසර හිතකාමීද?

පරිසරයේ ඇති කාබන් ප්‍රතිශතයෙන් 8% කට සහ වායු විමෝචනයෙන් 5% කට වග කිව යුතු වන්නේ කොන්ක්‍රීට් සහ යකඩෙන් තැනූ ගොඩනැගිලිය.

නමුත් ලී, කාබන් අවශෝෂණය කර ගන්නා අතර එය නැවත වාතයට පිට නොකරයි.

ජපාන භූමියෙන් තුනෙන් දෙකක් පමණ වැසී ඇත්තේ වනාන්තරවලින් යැයි සඳහන් වෙයි.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මුහුණ දෙන අභියෝග මොනවාද?

ලී ගොඩනැගිලි ගින්නට ඔරොත්තු නොදීම මෙවැනි ව්‍යාපෘති මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වෙයි.

නමුත් ගින්නට ඔරොත්තු දෙන ලෙස ආස්තරණය කර (cross-laminated timber (CLT)) සාදන ලී වර්ගයක් භාවිත කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කළ හැකි අතර, එසේ තැනූ ගොඩනැගිලි ආකෘතියක් යකඩෙන් තැනූ ගොඩනැගිල්ලකට වඩා ඉහළ උෂ්නත්වයකට ඔරොත්තු දෙනු ලැබේ.

ලීයෙන් ගොඩනැගිලි තැනීමට වැයවන අති විශාල මුදල හේතුවෙන් තව බොහෝ කාලයකට මෙය ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මාධ්‍යයක් නොවිය හැකිය.

මේ තොරතුරුද කියවන්න: