චීනය ශ්‍රී ලංකාවේ 18 සංශෝධනය කොපි කළාද ?

Image copyright EPA
Image caption මාවෝ සේතුංගෙන් පසු බලයට පත් බලවත්ම කොමියුනිස්ට් නායකයා

ජනාධිපති පදවියට අයත් නිල කාලය දෙවතාවකට පමණක් සීමා කෙරෙන වගන්තිය වෙනස් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කරන ලෙස චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

අද (පෙබරවාරි 25) එම යෝජනාව ඉදිරිපත් කෙරුණ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

එම යෝජනාව පිළිගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරුනොත් වත්මන් ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) සිය දෙවැනි නිල කාලය නිමවීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිටිනු ඇත.

වත්මන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චීන ජාතිකයකුට වසර පහ බැගින් වන නිල කාල දෙකක් බලයේ රැඳී සිටීමට දැනට අවසර ලැබෙයි.

මෙතෙක් පැවති දේශපාලන ස්ථාවරය වුණේ එවැනි නිල කාල දෙකකින් අනතුරුව "අලුත් පරපුරකට බලය පැවරිය යුතුය" යන්නයි.

දැනට බල පැවැත්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව ජනාධිපති ෂි ජින්පින් ගේ නිලකාලය 2022 දී නිම විය යුතුව ඇත.

Image caption බේජිං පාලනයේ බලවතුන් හත්දෙනා-මැද අංක හතරෙන් පෙන්නුම් කරන්නේ ෂි ජින්පින්

එහෙත් ඔහු 2023 න් පසුවත් දිගටම බලයේ රැඳී සිටීමට අවධානය යොමු කර ඇති බව චීන දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ෂි ජින්පින් පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ සිය නායකත්වය තහවුරු කර ගෙන ඇති ආකාරය පසුගිය වසරේ පවත්වන ලද පක්ෂ සම්මේලනයේ දී ප්‍රදර්ශනය විය.

සිය පාලන සමය ආරම්භ වීමෙන් අනතුරුව යුද හමුදාව ශක්තිමත් කිරීම, ජනමාධ්‍ය සහ රටේ පාලන මර්මස්ථාන තම පාලනය යටතට ගැනීම කෙරෙහි අවධානය යොමු කළ ෂි ජින්පින් මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුංගෙන් (Mao Zedong)අනතුරුව බලයට පැමිණි අති බලසම්පන්න දේශපාලන නායකයා ලෙස ස්ථානගත කරනු ලැබීම චීන කොමියුනිස්ට් පක්ෂයේ පසුගිය සමුළුවේ දී සිදු විය.

"මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති සහ උපජනාධිපති පදවිවලට අයත් නිල කාල සීමාවන් සම්බන්ධයෙන් දැනට පවතින ව්‍යවස්ථාමය විධි විධාන ඉවත් කරන මෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනා කර තිබෙනවා. එක් පුද්ගලයකුට දෙවතාවකට වැඩි අවස්ථාවක් එම පදවිවලට පත්විය නොහැකි බව එම පවතින ව්‍යවස්ථාමය විධි විධාන මගින් පැවසෙනවා.එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජන කරනවා" ෂින්හුවා චීන රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි.

Image copyright Getty Images
Image caption පවතින නීතිය අනුව 2022 දී ඔහුගේ නිල කාලය අවසන් වෙයි

ෂි ජින්පින් පාලනයෙන් අනතුරුව චීනයේ පාලනය පැවරෙන අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර