ෂී ජින්පිං "ශ්‍රේෂ්ඨයි": ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙනුත් 18 වැනි සංශෝධනයක්?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Image copyright Getty Images

ජනාධිපතිවරයාට ධුරය දැරිය හැකි නිල කාලය සම්බන්ධයෙන් පණවනු ලැබ තිබෙන සීමා ඉවත් කිරීමේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ සැලසුම ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

එක්සත් ජනපදයේ ද එසේ නිල කාලය සම්බන්ධ සීමාව ඉවත් කළ හැකි දැයි සලකා බලන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

පසුගියදා ෆ්ලොරිඩාවේ පැවති අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී ජනාධිපති ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කරනු දැක්වෙන වීඩියෝ පටයක් සීඑන්එන් (CNN) රූපවාහිනිය විකාශය කළේය.

තමන් යාවජීව ජනපති පදවියට පත්වන බව කීමට තරම් චීන ජනාධිපති ෂී ජින්පිං "ශ්‍රේෂ්ඨයෙකු" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරය ද එම වීඩියෝ පටයේ දැක්වේ.

"සමහරවිට කවදාහරි අපිටත් ඒක උත්සාහ කරලා බලන්න පුළුවන් වේවි," යනුවෙන් ද ඔහු පැවසීය.

Image caption බේජිං පාලනයේ බලවතුන් හත්දෙනා-මැද අංක හතරෙන් පෙන්නුම් කරන්නේ ෂි ජින්පින්

ජනාධිපති පදවියට අයත් නිල කාලය දෙවතාවකට පමණක් සීමා කෙරෙන වගන්තිය වෙනස් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කරන ලෙස චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය පෙබරවාරි 25 වෙනි දින යොජනාවක් ඉදිරිපත් කළේය.

18 වෙනි සංශෝධනය

චීන පාර්ලිමේන්තුව මේ සතියේ එම යෝජනාවට අනුමැතිය පළ කරනු ඇතැයි අපේක්ෂිතය.

එම යෝජනාව පිළිගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරුනොත් ජනාධිපති ෂී ජින්පිං සිය දෙවැනි නිල කාලය නිමවීමෙන් අනතුරුවත් දිගටම බලයේ රැඳී සිටිනු ඇත.

වත්මන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චීන ජාතිකයකුට ජනපති පදවියේ රැඳී සිටීමට අවසර ලැබෙන්නේ වසර පහ බැගින් වන නිල කාල දෙකක් පමණි.

චීනයේ මෙතෙක් පැවති දේශපාලන ස්ථාවරය වූයේ එවැනි නිල කාල දෙකකින් අනතුරුව "අලුත් පරපුරකට බලය පැවරිය යුතුය" යන්නය.

Image caption "ජනතාව හොඳට දන්නවා තියා ගන්න ඕන කාලේ. නැති එක. ඒක ජනතාවට ඉඩ දෙන්න ඕන" - මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි කාලය, වසර හය බැගින් වන නිල කාල දෙකකට සීමා කර තිබූ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සම්මත කරන ලද 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම සීමාව ඉවත් කරනු ලැබිණ.

ඉන් අනතුරුව 2015 ජනවාරි මාසයේ තුන්වෙනි වතාවටත් ජනපතිවරණයට තරග වැදුණු මහින්ද රාජපක්ෂ එහිදී පරාජයට පත්විය.

සති කිහිපයක් ඇතුලත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු සංවාදයකින් තොරව සම්මත කරගැනීම පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, රටේ සියලු දේ තීරණය කරනු ලබන්නේ ජනතාව විසින් බැවින් එහි කිසිදු වරදක් නැති බවය.

"ජනතාව හොඳට දන්නවා තියා ගන්න ඕන කාලේ. නැති එක. ඒක ජනතාවට ඉඩ දෙන්න ඕන," ඔහු පැවසීය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි සංශෝධනය මගින් යළිත් වරක් එම සීමාව නිල කාල දෙකක් බවට පත්කරන ලද අතර, එක් නිල කාලයක් වසර පහකට ද සීමා කරනු ලැබිණ.

තවත් කියවන්න:

බීබීසී යෙන්