අහස උසට යන චීන යුද වියදම්!

Image copyright Getty Images
Image caption ලෝකයේ දැවැන්තම හමුදාව චීනය සතු අතර එය තවත් නවීකරණය කිරීම බේජිං බලධාරීන්ගේ ඉලක්කයයි

ඉදිරි වසරේ සිය යුද වැය ශීර්ෂය යුආන් ට්‍රිලියන් 1.11ක් වනු ඇතැයි චීනය නිවේදනය කරයි.

මෙය ඇමෙරිකානු මුදලින් ඩොලර් කෝටි 17500 ක් තරම් විශාල මුදල් කන්දරාවකි.

එම නව යුද ආයෝජනය බේජිං පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව බලන විට එය චීනය යුද්ධය වෙනුවෙන් යොදවන ලද ධනය 8% කින් වැඩිවීමකි.

ලෝකයේ දැවැන්තම හමුදාව චීනය සතු අතර එය තවත් නවීකරණය කිරීම බේජිං බලධාරීන්ගේ ඉලක්කයයි.

තවත් කියවන්න:

යුද වියදම් 8%කින් වැඩි කරනු ලබන අතරවාරයේ 6.5% ක ආර්ථික වෘද්ධි ඉලක්කයක්ද ඇති බව චීන අගමැතිවරයා (Li Keqiang) පවසයි.

පාර්ලිමේන්තුව අමතා කතා කළ අගමැතිවරයා, "ජාතික ආරක්ෂක පරිසරයේ වෙනසක් සිදු කරනු ලැබීමේ දී යුද හමුදාව පර්වතයක් මෙන් ස්ථිරසාර සහ ශක්තිමත් තත්වයක පැවතිය යුතු"යයි කියා සිටියේය.

වත්මන් ජනාධිපති ෂි ජින්පින්ට අසීමිත කාලයක් බලයේ රැඳී සිටිය හැකි මට්ටමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබීම මෙම ව්‍යාපෘතියේම තවත් ඉලක්කයක් වෙයි.

Image copyright EPA
Image caption ෂි ජින්පින් මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගෙන් පසු එරට ස්ථානගත කෙරෙන බලවත්ම පාලකයා බවට පත්වනු ඇත.

දැනට බල පැවැත්වෙන නීතිය අනුව ජනාධිපති ධූරය එක් පුද්ගලයකු සඳහා දෙවතාවකට සීමා වුනත් අනාගතයේ එම සීමාව ඉවත් කෙරෙනු ඇත.

එම ක්‍රියාමාර්ගය චීනය තුළ පවා ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් පවතින නමුත්, ජි ෂින්පින් දිගටම බලයේ තැබෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණොත් ඔහු මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගෙන් පසු එරට ස්ථානගත කෙරෙන බලවත්ම පාලකයා බවට පත්වනු ඇත.

ජනාධිපති නිලකාල දෙකේ සීමාව ඉවත් කෙරෙන යෝජනාව ඇතුළත් අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (මාර්තු 05) සභාගත කෙරෙත්ම ඊට සහභාගී වූ දහස් ගණනක් නියෝජිතයන්ගේ අත්පොලසන් නාදයෙන් සභාගැබ ගිගුම් දුන් බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ ඡන්ද විමසීම මාර්තු 11 දින පැවැත්වෙනු ඇත.

එසේම එය ඒකමතිකව සම්මත කෙරෙනු ඇතැයි සැලකෙයි.

Image caption ජනාධිපති ෂි ජින්පින්

පාලක කොමියුනිස්ට් පක්ෂයේ තීන්දු අනුමත කරන චීන පාර්ලිමේන්තුව පක්ෂයේ රබර් මුද්‍රාවකට සමාන බව බටහිර මාධ්‍ය ආයතන විසින් සඳහන් කරනු ලැබ ඇත.

තුන් දහසක් පමණ වන චීන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් රටේ සියලු පළාත් සහ කලාප නියෝජනය කරන අතර ඔවුන් මහජනයා අතරින් තේරී පත්වූවන් ලෙස සලකනු ලැබුනත් ප්‍රයෝගිකව සිදු වෙන්නේ ඔවුන් පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් තෝරා පත්කරන ලද කණ්ඩායමක් වීමය.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර