ප්‍රසිද්ධියේ හිස් ආවරණය ඉවත් කළ ඉරාන කතකට සිර දඬුවම්

Image copyright Getty Images

හිජාබය අනිවාර්ය කිරීමේ නීතියට විරෝධය පළ කර ප්‍රසිද්ධියේ සිය මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කාන්තාවකට වසර දෙකක සිර දඬුවමක් ලබා දී ඇති බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත කී කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර "හර පද්ධතීන් විනාශ කිරීමට උරදීම" සම්බන්ධයෙන් ඇය වරදකරු වී ඇති බව ඉරාන නීතිපති දෙපර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ කාන්තාවට ලබා දී තිබු සම්පූර්ණ දඬුවමෙන් මාස 21 අත්හිටුවා ඇති බව කී රජයේ නීතිවේදී අබ්බාස් ජෆාරී වැඩිදුරටත් සඳහන් කළේ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කෙරෙන බවය.

පසුගිය සති කීපය තුළ ඉහත කී ආකාරයේ අත්අඩංගුවට ගැනීම් ගණනාවක් ඉරානයෙන් වාර්තා වී ඇත.

ප්‍රසිද්ධ ස්ථානවලදී මුහුණු ආවරණය කර සිටීම සම්බන්ධයෙන් පවතින දැඩි නීතිවලට අවනත වීම ප්‍රතික්ෂේප කළ එකී කාන්තාවන් නඩු පැවරීමකින් තොරව පසුව නිදහස් කරනු ලැබ තිබේ.

ටෙහෙරාන් අගනුවරදී බදාදා (මාර්තු 07) සිර දඬුවමට යටත් කළ කාන්තාව සමා කාලයකින් තොරව මාස තුනක කාලයකට බන්ධනාගාර ගත කෙරිණි.

"ඇයට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කර තිබෙනවා. ඇය මානසික වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි" යනුවෙන් නීතිවේදී අබ්බාස් ජෆාරී සඳහන් කළේය.

Image copyright Unknown
Image caption විරෝධය පළ කිරීමක් වශයෙන් ටෙහෙරාන් අගනුවර දී සිය මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කාන්තාවක් පසුගිය දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබිණි

ඇයට ලබා දී තිබූ සම්පූර්ණ දඬුවමෙන් වැඩි කොටසක් අත්හිටුවීමට ගෙන ඇති තීන්දුව විවේචනයට ලක් කළ නීතිවේදී අබ්බාස් ජෆාරී පවසන්නේ ඇයට සම්පූර්ණ දඬුවට ලබා දියයුතු බවය.

විරෝධය පළ කිරීමක් වශයෙන් ටෙහෙරාන් අගනුවරදී සිය මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කාන්තාවක් පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

එසේ ඉවත් කරන ලද හිස් ආවරණය ඇය අත වූ දණ්ඩකින් ඔසවා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපය ඉරානය තුළ විරෝධතා දැක්වීමේ සංකේතය බවට පත්විය.

එම ඡායාරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ අතර පසුව ඇය නිදහස් කරනු ලැබීය.

1979 වසරේ සිදු වූ ඉරාන විප්ලවයත් සමග ඉස්ලාමීය නීති අනුව හිස් ආවරණය කිරීමට එරෙට කාන්තාවන්ට බල කෙරිණි.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර