#HerChoice: "ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කම තවමත් රහසක්"

ඉන්දියාවේ පීතෘ මූලික සමාජයේ සම්මතයන්ට සහ චාරිත්‍රයන්ට එරෙහිව ගිය කාන්තාවන් දොළොස් දෙනෙකුගේ සත්‍ය ජීවිත ඇසුරින් බීබීසී ඉන්දීය භාෂා සේවයේ දිව්‍යා ආර්යා සහ ගෝපාල් ෂුන්යා විසින් #HerChoice (ඇයගේ කැමැත්ත) හෑෂ්ටැගය යටතේ පසුගියදා වාර්තා මාලාවක් එළිදක්වන ලදි. ඒ අතරින් කාන්තාවන් තිදෙනෙකු පිළිබඳ පුවත් මෙම ලිපියට ඇතුළත් වේ.

'ලොකු රහසක්'

මම ඉස්සරත් සැමියාට බොරු කියා තිබුණත්, දැන් නම් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. වයස අවුරුදු විස්ස වන විට මම දරුවන් හතර දෙනෙකුගේ මවක් බවට පත් වී සිටියෙමි.

මම ගෘහ සේවිකාවක් ලෙස රැකියාවේ යෙදුනෙමි. එම රැකියාවෙන් උපයා ගත් සියලු මුදල් මගේ සැමියා මත්පැන් පානය සදහා වියදම් කළේය. මත් වී නිවසට එන ඔහු දිනපතා මට පහර දෙමින් ලිංගික අඩන්තේට්ටම් සිදු කළේය.

මේ සියල්ල විවාහ ජීවිතය තුළ සාමාන්‍යයෙන් සිදු වන දේවල් ලෙස මගේ මව නිතර පැවසූ නිසා සැමියා හැර යෑම කළ හැක්කක් නොවීය. එබැවින් සියලු අඩන්තේට්ටම් සහ වේදනා දරා ගෙන ඔහු සමග දිවි ගෙවීමට මට සිදුවිය.

මගේ ජීවිතයේ වෙනස් කර ගැනීමට කැමති දේ කුමක් ද යැයි රැකියා ස්ථානයේ ස්වාමි දුව දිනක් මගෙන් විමසුවාය. නැවතත් දරුවෙක් පිළිසිඳ ගනීවි යැයි දැඩි බියකින් මා පසුවන බව මගේ පිළිතුර විය.

කාන්තා ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කම පිළිබඳ කරුණු පහදා දුන් ඇය මට එම සැත්කම සිදු කර ගැනීමට යෝජනා කළාය. එම යෝජනාව ගැන සිතන වාරයක් පාසා සැත්කම සිදු කර ගැනීමේ අවශ්‍යතාවය මට ඇති වුණි.

නමුත් මගේ සැමියා මෙය දැනගත් පසු කුමක් සිදුවේද? ඔහු තවත් මත් පැන් පානය කර මට පහර දෙනු ඇත. එයින් සිදු වන්නේ මා තවත් වේදනාවට පත් වීමය.

මෙම සැත්කම පිළිබඳ යම් සැකයක් ඇති වී තිබුනත් එය සිදු කිරීමෙන් පසු ජීවිතයේ එක් කොටසක් හෝ මගේ පාලනයේ තිබීම ගැන මට සතුටු විය හැකිය.

සිතට ධෛර්ය ගත් මම අවසානයේදී ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කම සිදු කර ගත්තෙමි. නමුත් මේ ගැන කිසිවක් මගේ සැමියාට හෝ දරුවන්ට දැන ගැනීමට ඉඩ සැලසුවේ නැත.

සැත්කම සිදු කර වසර දහයක් ගත වී තිබේ. අදටත් එය රහසක් වුවත්, ඒ ගැන මම ආඩම්බර වන්නෙමි.

(දිව්‍යා ආර්යාගේ වාර්තාවකි.)

'නැවත ඉපදුණා'

එය මගේ මංගල රාත්‍රියයි. තිස්පස් වැනි වියේ පසු වන මම තවමත් කන්‍යාවක් වෙමි. මගේ සැමියා ඉතා ආදරයෙන් මා ඔහු වෙත ලං කර ගෙන සිප ගන්නා ආකාරය ගැන සිහින මවමින් මම සෙමෙන් කාමරයට ඇතුළු වීමි. නමුත් ඔහු තද නින්දකට වැටී ඇති බවක් දැකගන්නට ලැබිණ.

අසනීපයෙන් පසු වූ නිසා නින්දට වැටුණු බව පසු දින උදෑසන ඒ පිළිබඳ විමසූ විට ඔහුගේ පිළිතුර විය.

නමුත් දෙවන, තෙවන සහ තවත් රාත්‍රී කීපයක් කිසිවක් සිදු වූයේ නැති අතර, අසනීප තත්වයෙන් පසුවන බව ඔහු දිගින් දිගටම පැවසීය.

මම අපහසුතාවට පත් වුණ එකම අවස්ථාව ලිංගිකව එක්වීමට උත්සාහ කිරීමේදී පමණක් ද නොවේ. ඔහු මා සමග කතා කළේ ද ඉතා අඩුවෙනි. ඔහු කිසි දිනක මා ස්පර්ශ කළේ නැත.

මගේ සැමියා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන බව මට පසුව දැනගන්නට ලැබිණ. ඔහුගේ දෙමාපියෝ එය දැන සිටියහ. නමුත් මා රවටමින් සිදු කළ මෙම විවාහය නිසා මගේ මුළු ජීවිතයම අන්ධකාරයේ ගිලුණි.

මෙය මට උරුම ජීවිතය ලෙස භාර ගන්නා ලෙසට මා වටා සිටි සියලු දෙනා අවවාද කරන්නට වූහ.

නමුත් තවදුරටත් එම 'බොරු' විවාහය පවත්වා ගෙන යෑමට මට අවශ්‍ය වූයේ නැත. මම සැමියා හැර යෑමට තීරණය කළෙමි.

සැමියාගෙන් දික්කසාද වීමට ගත් තීරණයට මගේ දෙමාපියන් එකඟ වූයේ නැත. නැවත මා නිවසට භාර ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

ගැහැණු ළමුන් නැවතී සිටින නේවාසිකාගාරයක නවාතැන් ගෙන රැකියාවක් සොයා ගැනීමට මගේ මිතුරන්ගේ උපකාර ලැබුණි. ඉන් පසු මම දික්කසාද නඩුවක් ගොනු කළෙමි.

සැමියාගේ ලිංගික බෙලහීනතාව ගැන වසන් කර ගැනීම පිණිස මා අනාචාරයේ හැසුරුන බවට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් දික්කසාද නඩුව ඉදිරියට ගෙන ගියේය. වසර තුනකට පසු ඔහුගෙන් දික්කසාද වීමට මට හැකි විය.

'නැවත ඉපදුණා' වැනි හැඟීමක් මට ඇති විය.

සමාජයේ බොහෝ පිරිසක් මා ගැන වැරදි නිගමනවලට එළඹ සිටිති. නමුත් කාන්තාවන්ට ද හැඟීම් සහ අවශ්‍යතා ඇති බව ඔවුන් කෙදිනක හෝ වටහාගනු ඇතැයි මම සිතමි.

(බීබීසී දෙමළ භාෂා සේවයේ අයිශ්වර්යා රවිශංකර්ගේ වාර්තාවකි.)

'සෑම දෙයක්ම හොඳින් සිදු වෙයි'

මුස්තෆා සහ මම ආදරයෙන් බැඳෙන විට අප එකම රටකට, ජාතියකට, ආගමට සහ කුලයකට අයත් දැයි සිතුවේ නැත.

මුස්තෆා අප්‍රිකානු සම්භවයක් ඇති මුස්ලිම් කළු ජාතික තරුණයෙකි. මම ඉන්දියාවේ කුඩා ගමක වෙසෙන ක්‍රිස්තියානි ආගම අදහන කාන්තාවක් වීමි.

මිශ්‍ර විවාහ හා බැඳුණු දරදඬු ප්‍රතිපත්ති සහ දෙමව්පියන්ගේ දැඩි විරෝධය හේතුවෙන් අප දෙදෙනාට අනාගතය සැළසුම් කිරීම කිසිසේත්ම කළ නොහැකි විය.

අප දෙදෙනා එකට ජීවත් වීම අවසන් කර මාසයකට පසුව, මම ගැබ් ගෙන ඇති බව දැනගත්තෙමි. එවිට මට වයස විසි එක සම්පූර්ණ වූවා පමණි.

දරුවා බිහි කර හදා වඩා ගැනීමට අවශ්‍ය බව යහළුවන්ට පැවසූ සෑම අවස්ථාවකදීම මට මානසික ප්‍රශ්නයක් ඇත් දැයි ඔවුහු පෙරළා ප්‍රශ්න කළහ.

මුස්තෆාට මම ගැබ් ගෙන ඇති බව දැන්වූයෙමි. මගේ කුස පිළිසිඳගෙන සිටින්නේ ඔහුගේ දරුවෙකු බව පිළිගැනීමට මුස්තාෆා අකමැති විය. දරුවා ගබ්සා කිරීමට යෝජනා කළ ඔහු එයට හේතු රාශියක් ඉදිරිපත් කළේය.

වෙනස් ආගමක සහ කුලයකට අයත් කළු ජාතික දරුවෙකු බිහි කිරීමට උත්සාහ දැරීම ගැන මගේ දෙමව්පියෝ දැඩි කෝපයට පත්වූහ.

ස්ථීර රැකියාවක් හෝ විශ්වාසය තැබිය හැකි කිසිවෙක් නොමැති නිසා මම බියට පත් වුනෙමි.

මේ අති දුෂ්කර කාල සීමාවේදී එක් යෙහෙළියක් මට උදව් කිරීමට ඉදිරිපත් වූවාය. වෛද්‍ය සායනවලට සහභාගි වීමට ඇති දිනයන්හි ඇයගේ වාහනය මට ලබා දුන් අතර, දරුවා ලැබීමට නියමිත දින රෝහලට රැගෙන යෑමට තරම් ඇය කාරුණික විය.

මම පුතෙක් බිහි කළෙමි. දරුවාගේ මුහුණ දුටු මට 'සියල්ල හොඳින් සිදු වේ' යැයි සිතුනි.

මට දැන් වයස විසි නවයක් වන අතර පුතා සය හැවිරිදිය.

මම ජීවිතයේ දුෂ්කර අවධියක් පසු කළත්, පසුගිය වසර කීපය තුළ මම ඉතා ශක්තිමත් ගැහැනියක් බවට පත් වුනෙමි.

(බීබීසී හින්දු භාෂා සේවයේ සින්දුවාසිනී ත්‍රිපතිගේ වාර්තාවක් ඇසුරෙනි. මෙහි සිටින කානතාවන්ගේ අනන්‍යතාවය හෙළි කර නොමැති අතර ඇතැම් අවස්ථාවල නම වෙනස් කර ඇත.)

මේ තොරතුරුද දැනගන්න: