ෂි ජින්පින් චීනයේ යාවජීව ජනාධිපතිවරයා වේද?

Image copyright Reuters
Image caption නව ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රීතිය පළ කරන ජනාධිපති ෂි ජින්පින්

චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ පවත්වා ගැනීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණි.

කීපදෙනකු පමණක් විරුද්ධව ඡන්දය දීමෙන් හෝ අතළොස්සක් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකී සිටින අතරවාරයේ ජාතික මන්ත්‍රණ සභාවේ අතිබහුතරය ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී ඇත.

චීන නිල වාර්තා අනුව නියෝජිතයන් දෙදෙනෙක් යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඇති අතර තිදෙනෙක් පැමිණ නැත.

වසර ගණනාවක් මෑත ඉතිහාසයේ චීනයේ ජනාධිපතිවරුන් වසර දහයක නිල කාලයකට සීමා වූ අතර එය නිලකාල දෙකකින් ආවරණය විය.

ජනාධිපති නිල කාලය සඳහා පැවති දස අවුරුදු කාල සීමාව ඉවත් කරනු ලැබීම මගින් ජනාධිපති ෂි ජින්පින්ට සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්ෂණයට මග සැලසීමත් සමඟ රටේ නායකත්වය ශක්තිමත් වනු ඇතැයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පවසයි.

Image caption මෙම වෙනස්කම් මගින් බලය තනි පුද්ගලයකු අතට පත්වනු ඇතැයි තක්සේරු කරන චීන ජාතිකයන් මේ මොහොතේ අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.

එහෙත් ඉහත කී වෙනස්කම් මගින් බලය තනි පුද්ගලයකු අතට පත්වනු ඇතැයි තක්සේරු කරන චීන ජාතිකයන් මේ මොහොතේ අනුගමනය කරනු ලබන්නේ නිහඬ පිළිවෙතකි.

මෙතෙක් බල පැවැත්වෙන චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චීන ජාතිකයකුට වසර පහ බැගින් නිල කාල දෙකක් බලයේ රැඳී සිටීමට අවසර ලැබුණි.

පැවති දේශපාලන ස්ථාවරය වුණේ එවැනි නිල කාල දෙකකින් අනතුරුව "අලුත් පරපුරකට බලය පැවරිය යුතුය" යන්නයි.

එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව ජනාධිපති ෂි ජින්පින් ගේ නිලකාලය 2022 දී නිම විය යුතුව තිබුණි.

එහෙත් නව සංශෝධන අනුව ඔහු 2023 න් පසුවත් දිගටම බලයේ රැඳී සිටිනු ඇත.

Image caption ජනාධිපති ෂි ජින්පින් චීනයේ යාවජීව ජනාධිපතිවරයා වේද?

ජනාධිපති ෂි ජින්පින් පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ සිය නායකත්වය තහවුරු කර ගෙන ඇති ආකාරය පසුගිය වසරේ පවත්වන ලද පක්ෂ සම්මේලනයේ දී ප්‍රදර්ශනය විය.

සිය පාලන සමය ආරම්භ වීමෙන් අනතුරුව යුද හමුදාව ශක්තිමත් කිරීම, ජනමාධ්‍ය සහ රටේ පාලන මර්මස්ථාන තම පාලනය යටතට ගැනීම කෙරෙහි අවධානය යොමු කළ ෂි ජින්පින්, මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුංගෙන් (Mao Zedong)අනතුරුව බලයට පැමිණි අති බලසම්පන්න දේශපාලන නායකයා ලෙස ස්ථානගත කරනු ලැබීම චීන කොමියුනිස්ට් පක්ෂයේ පසුගිය මහා සමුළුවේ දී සිදු විය.

"මේක නව යුගයක්, චීන ගති ලක්ෂණ සහිත සමාජවාදී සමාජයක් දිනා ගැනීම දෙසට තවත් ක්‍රියාත්මක විය යුතු කාලයක්. මෙය හොඳ රටක් ගොඩ නැගීමට, ඒ වගේම ලෝක බලවතෙකු වීමට කටයුතු කරන කාලයක්. මෙය පක්ෂය සහ ජනතාව එකමුතු විය යුතු කාලයක්," යැයි ජනාධිපති ෂි ජින්පින් උත්තරීතර මහජන ශාලාවේ මුළුදුන් චීන කොමියුනිස්ට් පක්ෂ පසුගිය සමුළුව අමතමින් කියා සිටියේය.

Image caption චීන පාලනයේ බලවතුන් සත්දෙනා - අංක 4 ස්ථානයේ ෂි ජින්පින්

ෂි ජින්පින් යුගයෙන් අනතුරුව චීනයේ පාලන බලය පැවරෙන අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර