ඉන්දියාව: අනායාස මරණය හෙවත් යූතනේසියාව නීත්‍යානුකූල කරයි

India Image copyright Getty Images

අනායාස මරණය හෙවත් යූතනේසියාව (euthanasia) නීත්‍යානුකූල කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශ කර ඇත.

යම් රෝගියෙකුට දෙන වෛද්‍ය ප්‍රතිකාර දැඩි නිර්දේශ යටතේ නතර කර එම රෝගියාගේ මරණය ඉක්මන් කළ හැකි වීම අනායාස මරණය ලෙස හැඳින්වේ.

ඒ අනුව සුව නොවන රෝග වැළදුණු, අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට සහ ඔත්පලව එක් තැන් වී සිටින පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා යොමුවීමට සහය දීම මෙම නඩු තීරණයෙන් පසුව නීත්‍යානුකූල වනු ඇත.

ගෞරවාන්විත මරණයක් ලැබීම පුද්ගලයෙකුගේ අයිතියක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ පැවසූහ.

දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට ගෞරවාන්විත මරණයක් ලැබීමේ අයිතියක් ඇති බව මෙම නඩුවේ පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අතර, එම තර්ක මත පදනම්ව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

"දැන් තත්ත්වය අනුව මේක විශේෂ නඩු තීන්දුවක් වෙනවා. වර්තමානයේදී වෛද්‍ය විද්‍යාව කෘත්‍රිම දේවල් භාවිත කරමින් රෝගීන්ව ජීවත් කරන්න උත්සහ කරනවා වගේම, රෝහල්වල හුඟක් කල් තියාගෙන මුදල් අය කරනවා" යැයි ප්‍රධාන පෙත්සම්කරු විපුල් මුද්ගල් පැවසුවේය.

අනායාස මරණය

අනායාස මරණය හෙවත් යූතනේසියාව මතභේදකාරී මාතෘකාවක් වන අතර මෙය රටවල් කීපයක නීති ගත කර ඇත. මෙය සිදු වන්නේ වෛද්‍ය ප්‍රතිකාර දීම නතර කළ විට හෝ රෝගියා ජීවත් කරන යම් උපකරණයක් ඉවත් කළ විටය. මෙය සිදු කරන ආකාර කීපයක් ඇත, එනම්:

•ශ්වසන ආධාරක යන්ත්‍රය ඉවත් කිරීම

•ආහාර සපයන ටියුබය ගලවා දැමීම

•තීරණාත්මක සැත්කමක් නොකර සිටීම

•ජීවත්ව සිටීමට අවශ්‍ය ඖෂධ ලබා නොගැනීම

අනායාස මරණය යම් කෙනෙකුගේ බලපෑම යටතේ සිදු වුණි දැයි අධිකරණය නිගමනයකට එළැඹෙන ආකාරය පැහැදිලි නැත.

Image copyright Getty Images

විශේෂ අවස්ථාවල දී පමණක් දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුගේ ශ්වසන ආධාරක ඉවත් කළ හැකි බව 2011 වර්ෂයේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මුම්බායි නගරයේදී දුෂණයට ලක් වී ගෙල සිර කිරීමෙන් පසු 1973 සිට ඔත්පලව එක්තැන් වී සිටින කාන්තාවක් අනායාස මරණය සදහා ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී. අනායාස මරණය ඉල්ලා ගොනු කරන ඇතැම් නඩු වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු බව අධිකරණයේ තීරණය විය.

අරුණා ෂන්බවුග් 1973 වර්ෂයේදී මුම්බායි නගරයේ රෝහලක සේවය කරන අතරතුර එහි සාත්තු සේවකයෙකුගේ පහරදීමෙන් මොලයට හානි සිදු වීම නිසා ඔත්පලව සිට 2015 දී මිය ගියාය.

ඇයගේ මරණයෙන් පසු අනායාස මරණය ගැන ඉන්දියාවේ විශාල කතා බහක් ඇති විය.

මේ තොරතුරුද දැනගන්න:

2011 දී ප්‍රකාශයට පත්කළ අධිකරණ තීන්දුවකට අනුව අනායාස මරණය ඉල්ලා පෙත්සමක් ගොනු කළ හැකි වන්නේ වෛද්‍යවරුන්ට පමණි. මින් පෙර අනායාස මරණය ඉන්දියාවේ තහනම් විය.

නව නඩු තීන්දුවට අනුව රෝගියාගේ පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට ඔහු වෙනුවෙන් අනායාස මරණයට ඉඩකඩ ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කළ හැකිය. ඉන්පසු අධිකරණය විසින් පත් කරනු ලබන වෛද්‍යවරුන් කණ්ඩායමක් එකී රෝගියාට අනායාස මරණය අවශ්‍ය ද යන්න තීරණය කරනු ඇත.

අතීතයේ දී අනායාස මරණය බලාත්මක කිරීමට ඉල්ලා ගොනු කළ නඩු බොහොමයක් ඉන්දියානු අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උත්තර ප්‍රදේශ්හි ජීවත්වන ජීත් නාරායන් එවක ඉන්දියානු ජනාධිපති ප්‍රතිභා පටිල්ට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ ඔත්පලව ඇඳට වී සිටින තම දරුවන් හතර දෙනාගේ ජීවිතය අහවර කිරීමට ඉඩ දෙන ලෙසය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විණි.

උපතෙන්ම ආබාධිත තම ළදරුවාගේ ජීවිතය නැති කිරීමට ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වූ ඩෙනිස් කුමාර් 2013 දී ගොනු කළ නඩුව අධිකරණය ප්‍රතික්ෂේප කළේය.