ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් ඉවතට

Image copyright Reuters
Image caption රෙක්ස් ටිලර්සන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබ තිබේ.

ඒ අනුව එම ධුරය සඳහා CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පත් කරනු ලැබ ඇත.

රෙක්ස් ටිලර්සන් ලබා දුන් සේවය වෙනුවෙන් ට්විටර් සමාජ ජලයේ ඔස්සේ සිය ස්තුතිය පළ කළ ජනාධිපති ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා "සිය වගකීම විශිෂ්ට ලෙස ඉටු කරනු ඇතැයි" වැඩිදුරටත් සඳහන් කරයි.

'ExxonMobil' සමාගමේ හිටපු ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබුවේ මීට වසරකට ඉහතදීය.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපා ඇත්තේ පුර්ව දැනුම්දීමකින් තොරවය.

ධුරයෙන් ඉවත් කිරීමට හේතුව පිළිබඳ රෙක්ස් ටිලර්සන් නොදන්නා බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරියෙකු සඳහන් කළේය.

Image copyright Getty Images

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වෙනුවට CIA ඔත්තු සේවයේ ප්‍රධානී මයික් පොම්පෙඕ පත්කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා කළේය.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී මතභේද හටගෙන තිබිණ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් හා හිටපු රාජ්‍ය ලේකම්වරයාට එකඟත්වයකට පැමිණීමට නොහැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මෝඩ පුද්ගලයෙකු" බව හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මීට ඉහතදී ඔහුගේ මුහුණට පැවසු බව වාර්තා විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජීනා හැස්පල් පත් කරනු ලැබ ඇත.

CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තාවක් පත් කෙරුණු පළමු අවස්ථාව මෙයය.

සබැඳි යොමු: