විද්‍යුත් මෝටර් රථ: "වසරකට විද්‍යුත් මෝටර් රථ තිස් ලක්ෂයක්"

Image copyright Getty Images

වසර 2022 අගභාගය වන විට ලොව පුරා මධ්‍යස්ථාන දහසයකදී විද්‍යුත් මෝටර් රථ නිපදවීමට සිය සමාගමට හැකි වනු ඇතැයි වොල්ක්ස්වැගන් (Volkswagen) සමාගම පවසයි.

සිය මෝටර් රථවල කාබන් වායු පරීක්ෂණ දත්ත වෙනස් කිරීමට කටයුතු කොට ඇතැයි හෙළි වීමෙන් වසර දෙකකට පසු 2017 වසරේ සිය මෝටර් රථ වාර්තාගත මට්ටමින් අලෙවි වී ඇති බව වොල්ක්ස්වැගන් සමාගම නිවේදනය කළේය.

අදාළ අපචාරය වොල්ක්ස්වැගන් සමාගමේ වෙළඳ නාමයට කළු පැල්ලමක් එක් කළ අතර ඒ හේතුවෙන් ඩොලර් බිලියන ගණනක පාඩු සිදු විය.

වොල්ක්ස්වැගන් සමාගම ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමයි.

බර්ලිනයේ පැවති වොල්ක්ස්වැගන් සමාගමේ වාර්ෂික මාධ්‍ය සමුළුව අමතමින් එහි ප්‍රධාන විධායක මතියස් මියුලර් කියා සිටියේ වසර 2025 වන විට වසරකට විද්‍යුත් මෝටර් රථ ලක්ෂ තිහක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම සැලසුම් කරන බවය.

විද්‍යුත් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ අලෙවිය ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

Image copyright Getty Images

ඩීසල් සහ පෙට්‍රල් භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමට ලොව ප්‍රධාන රටවල් මේ වනවිටත් පියවර ගනිමින් සිටිති.

මෝටර් රථ සඳහා ලොව විශාලතම වෙළඳපොළ පවතින චීනය ඒ සම්බන්ධයෙන් පවතින සැලසුම් පිළිබඳ 2017 වසරේදී ප්‍රකාශයට පත් කළේය.

වසර 2025 වන විට ඩීසල් යොදාගෙන ධාවනය කෙරෙන සියලුම මෝටර් සහ ලොරි රථ තහනම් කරන බව ලෝකයේ ප්‍රධාන නගර හතරක නගරාධිපතිවරු මීට ඉහත දී පවසා තිබිණි.

වායු දූෂණය අඩුකර, වායු ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ පියවර ගන්නා බව පැරිස්, මෙක්සිකෝ, මැඩ්රිඩ් සහ ඇතන්ස් යන නගරවල නගරාධිපතිවරු සඳහන් කළහ.

වසරකට තිස් ලක්ෂයකට අධික පිරිසක් වායු දුෂණය හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර