සමාජ ජාලවල "යහපත් හැසිරීමට ලැබුණ ලකුණු" අනුව ඔබ සහකරුවෙකු තෝරා ගන්නේද?

China Image copyright Getty Images

ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාල තුළ ඔබේ හැසිරීම නිරීක්ෂණය කරමින් "ලකුණු" ලබා දීමේ වැඩ පිළිවෙලක් ගැන සිතිය හැකිද?

අන්තර්ජාලය තුළ ඔබ හැසිරෙන ආකාරය විශ්ලේෂණය කර ඔබේ චරිතාංග, විශ්වාසනීයත්වය සහ සමාජීය පිළිගැනීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කර ලකුණු ලබා දෙනු ඇත.

අදාළ විශ්ලේෂණයෙන් පසු ලැබෙන ලකුණු ප්‍රමාණය ඔබ රැකියාවකට තෝරා ගැනීමේදී, බැංකුවකින් ණය පහසුකමක් ලබා ගැනීමේදී පමණක් නොව සහකරුවෙකු තෝරා ගැනීමේදී පවා අනිවාර්යෙන් සැලකිල්ලට ගනු ලැබෙයි.

එවැනි ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා චීනය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී.

'සමාජ මාධ්‍ය ජාල හැසිරීමට ලකුණු ලබා දීමේ පද්ධතියක්' සකසමින් සිටින චීනය වසර 2020 වන විට එය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි.

බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇතුළු සමාජ ජාල රැසක් දැනටත් චීනය තුළ අවහිර කර ඇත.

"Great Firewall" (ග්‍රේට් ෆයර් වෝල්) නම් මෘදුකාංගය හරහා මෙම වෙබ් අඩවි අවහිර කිරීම සිදු වේ. නමුත් බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති චීනයේ WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල විශාල වශයෙන් භාවිතය කරන අතර, එම පරිශීලකයන් වෙන වෙනම නිරීක්ෂණය කර ඔවුන්ගේ හැසිරීමට ලකුණු ලබා දෙනු ඇත.

Image copyright SCHRODERS
Image caption "රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න" - ජේම්ස් ගෝට්‍රෙයි

කෙටි පණිවිඩ ඔස්සේ සංවාදයේ යෙදිය හැකි (චැට් රූම්) වෙබ් අඩවි සියල්ල ප්‍රථමයෙන් එහි පරිශීලකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය. ඉන්පසු එක් එක් පුද්ගලයාගේ සංවාද ඉතිහාසය සය මසක් සුරක්ෂිතව තබා ගත යුතු අතර ඔවුන්ගේ හැසිරීම අනුව ශ්‍රේණිගත කළ යුතුය. මෙසේ ලබා ගන්නා දත්ත සියල්ල රාජ්‍ය ආයතනක් විසින් සකසන ලද ලකුණු ලබා දීමේ පද්ධතියට ඇතුළත් කරනු ලැබේ.

"WeChat පරිශීලකයන් ගණන බිලියනයක්. මේ ආකාරයට එහි තිබෙන දත්ත ලබා ගත් පසු රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න. එය ඔවුන්ට තිබෙන සිහිනයක්" යනුවෙන් තාක්ෂණ විශේෂඥ ජේම්ස් ගෝට්‍රෙයි පැවසුවේය.

චීනයේ බොහෝ මිනිසුන් සහ ආයතන අන්තර්ජාලය පාලනය කරන සංවේදී මෘදුකාංග මඟ හැරීමට පෙලැඹී ඇත. VPN සහ Proxy සේවාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් පෞද්ගලික දත්ත සහ ඔවුන්ගේ හැසිරීම රාජ්‍ය ආයතන අතට පත් වීම වැළකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

නීත්‍යානුකූල නොවන සියලු VPN සේවාවන් අවහිර කරන ලෙස අන්තර්ජාල පහසුකම් ලබා දෙන ප්‍රධාන ආයතන තුනට චීන රජය පසුගිය වසරේ දී අණ කර ඇත. 'අලිබබා' වාණිජ වෙබ් අඩවිය ඇතුළු සියලු වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ද රජය මෙම ඉල්ලීම කර ඇත.

Image copyright Getty Images
Image caption චීනයේ ෂි ජින්පින් ජනාධිපතිවරයා

විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාලයට පිවිසීමට VPN භාවිතා කරන ව්‍යාපාරවලට ද අනතුරු ඇඟවීම් සිදු කිරීමට එරට රජය ක්‍රියා කර ඇත.

මේ තොරතුරුද දැනගන්න:

ලෝකයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට චීනයයි.

චීනයේ දැනට සවි කර ඇති CCTV කැමරා ගණන කෝටි දාහතක් පමණ වන අතර තවත් එබඳු කැමරා කෝටි හතළිහක් සවි කිරීමේ සැලැස්මක් පවතී. එම කැමරාවලින් බහුතරයක් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඒවා වන අතර, එය අද ලෝකයේ පුළුල්ම CCTV කැමරා පද්ධතියයි.

චීන පොලිසිය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 'මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය' අන්තර්ගත අව් කණ්ණාඩි විශේෂයක් භාවිතා කිරීම පසුගියදා ආරම්භ කළේය.

Image copyright AFP
Image caption 'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති අව් කණ්ණාඩි

නමුත් චීන පාරිභෝගිකයන් මේ කිසිවක් ගැන දැඩි අවධානයක් යොමු කර නොමැති බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත.

'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව විසි දහසක් පුද්ගලයන්ගේ මත විමසමින් සිදු කළ මෙම ගවේෂණයේ දී හෙළි විය. මෙමගින් සමාජයට ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බව එම පිරිසෙන් 70% ක් පවසා සිටියහ.

Image copyright DENTSU AEGIS
Image caption 'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත.

"ඩිජිටල් සේවාවන් අපට වැඩි නිදහසක් ලබා දෙන අතර එය බොහෝ වැඩ සිදු කර ගැනීම පහසු කරනවා. ඒ වගේම අපට වැඩිපුර ජීවිතය විඳීමට ඉඩ සලසා දෙනවා" යැයි තාක්ෂණය සහ නව නිපැයුම් අලෙවිකරණ ආයතනයක ප්‍රධානී ෆ්‍රැන්සිස් ලෑම් පැවසුවේය.

WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල පාලනය කරන චීනයේ විශාලතම තාක්ෂණික ආයතනය වන ටෙන්සන්ට් (Tencent), තුන් මසකට පෙර ෆේස්බුක් ආයතනය පසු කර ලෝකයේ පස්වන විශාලතම ආයතනය බවට පත් විය.