ඉර්ෆාන් ඛාන් : බොලිවුඩ් රංගන ශිල්පියාට දුර්ලභ රෝගයක්

ඉර්ෆාන් ඛාන් Image copyright Getty Images

ප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්, තමන් දුර්ලභ රෝගයකින් පෙලෙන බව ට්විටර් පණිවිඩයකින් හෙළි කළේය.

ස්නායුඅන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හටගැනෙන එම දුර්ලභ රෝගය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කෙරෙන සෛලවලට බලපෑම් කරයි. සිය තත්ත්වය සම්බන්ධයෙන් ඛාන් වැඩිදුර තොරතුරු හෙළිකර නැත.

මාර්තු 6 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඔහු තමන් "දුර්ලභ රෝගයකින්" පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි.

51 වෙනි වියේ පසුවන ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදිය ද ඇතුළත් සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනය එක් කර ඇත.

ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර 'ලයිෆ් ඔෆ් පයි', 'ජුරාසික් වර්ල්ඩ්', 'ස්ලම්ඩෝග් මිලියනයර්' සහ 'දි අමේසිං ස්පයිඩර් මෑන්' ද වේ.

සිකුරාදා (මාර්තු 16) ට්විටර් හරහා සිය රෝගය පිළිබඳ කතා කළේය.

මාර්තු 10 වෙනිදා ෆේස්බුක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉර්ෆාන් ඛාන් ගේ බිරිඳ සුතපා සික්දර් පැවසුවේ "මගේ හොඳම මිතුරා සහ මගේ හවුල්කරුවා 'රණකාමියෙක්' ඔහු තමන් ඉදිරියට එන සෑම බාධකයක් සමග සටන් කරන්නේ අතිශය අලංකාර ශෛලියකින්" යනුවෙනි.

මේ තොරතුරු ද දැනගන්න:

ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ඇති ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් මෙන්ම ස්වාධීන් ඉන්දීය චිත්‍රපටවල පුළුල් පරාසයක විහිදුනු ආකර්ශනීය චරිතවලට පණ දී තිබේ.

මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්‍රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත්තේය.

'ද ලන්ච් බොක්ස්' චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබීය.

එය එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටය විණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර