රහස් ඔත්තුකරුට වසදීම: රුසියාව එකට එක කරයි

Police teams in Salisbury

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

සැලිස්බරි නගරයේ විෂ පරීක්ෂණවල යෙදී සිටින රස පරීක්ෂකයෝ

රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දීමත් සමග දෙරට අතර මතු වී තිබෙන දේශපාලන උණුසුම අතරවාරයේ බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු රටින් පිටුවහල් කරන බව රුසියාව නිවේදනය කළේය.

මොස්කව් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරන එම පිරිස ඉදිරි සතිය ඇතුළත රටින් පිටුවහල් කරන බව රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

එමෙන්ම රුසියාවේ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිලය ( British Council) සහ ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන බවත් නිවේදනයේ සඳහන් විය.

රුසියාව එම පියවර නිවේදනය කළේ, බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු පිටුවහල් කරන බවට අගමැතිනි තෙරේසා මේ කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, YULIA SKRIPAL/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය,

"ඇයට මෙවැනි දඬුවමක් දෙන්න තරම් ඇය මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ"

පසුගිය මාර්තු මස 04 වෙනි දින හිටපු කේජීබී නිලධාරියෙකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ යූල්යා ස්ක්‍රිපාල් දෙදෙනාට සැලිස්බරි නගරයේ වස දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රුසියාවට චෝදනා කරන නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

වස ශරීගතවීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු හැටහය හැවිරිදි ස්ක්‍රිපාල් සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බව විශ්වාස කෙරේ. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මෙම විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක කෙරේ.

පරීක්ෂණය සම්බන්ධයෙන් සහයෝගය දෙන මෙන් කළ ඉල්ලීම මොස්කව් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව රුසියාවට "පැහැදිලි පණිවුඩයක්" ලබාදීම පිණිස පියවර ගණනාවක්ම බ්‍රිතාන්‍ය අගමැතිනිය නිවේදනය කළාය.

එම නිවේදනයට ප්‍රතිචාර දැක්වීම පිණිස මොස්කව් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපති ලෝරී බ්‍රිස්ටෝව් (Laurie Bristow) සෙනසුරාදා (මාර්තු 17) විදේශ අමාත්‍යංශයට කැඳ වූ මොස්කව් පාලනය, සිය ප්‍රතිචාරය ඔහුට දැනුම් දී තිබිණ.

රැස්වීමෙන් අනතුරුව අදහස් පළ කළ බ්‍රිතාන්‍ය තානාපතිවරයා කියා සිටියේ බ්‍රිතාන්‍යයට රුසියාවේ ජනතාව සමග කිසිදු ආරාවුලක් නොමැති බවය. එහෙත් "අපේ ආරක්ෂාව පිණිස ගත යුතු සෑම පියවරක්ම ගන්නා," බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රුසියාවෙන් "මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරෝත්තුවෙන් සිටි" බව පවසන බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, මීළඟ පියවර පිළිබඳ සලකා බැලීම පිණිස ජාතික ආරක්ෂක මණ්ඩලය ලබන සතිය මුලදී රැස්වීමට නියමිත බවත් සඳහන් කර තිබේ.

තවත් කියවන්න: