හිමපතනය සමඟ අසීරු වූ බ්‍රිතාන්‍ය ජන ජීවිතය

Image copyright Reuters
Image caption හිම පතනය සමග මහාමාර්ගයේ සිර වූ වාහනයක්

එක්සත් රාජධානිය මුහුණ දී ඇති හිමපතනය සහ මහාමාර්ගයන්හි අයිස් තට්ටු සැදීමත් සමඟ ඇතැම් පලාත්වල දුම්රිය සේවාවන් ද ඇතුළුව සියලු ප්‍රවාහන සේවාවන් දුෂ්කර තත්වයකට පත්ව ඇත.

අද ඉරිදා (මාර්තු 18) වෙස්ට් මිඩ්ලන්ඩ්, නිරිත දිග එංගලන්තය සහ වේල්සයේ ඇතැම් කළාපයන්හි අනතුරුදායක තත්වයක් පවතින බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා අංශය මහජනතාවට දැනුම් දී තිබුණි.

එම තත්වය යටතේ ගුවන් තොටුපොළ කීපයක් ම වසා දමා ඇති අතර ක්‍රීඩා තරඟ ආදිය පවා අවලංගු කරනු ලැබුණි.

මහාමාර්ග හිමෙන් වැසී යාමත් සමඟ රථවාහන රියැදුරන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන්හ.

Image caption හිම වැස්ස නිසා බ්‍රිස්ටල් ගුවන්තොට වසා දැමීමට සිදුවිය

'එක්ස්ටර්' (Exeter) ගුවන් තොටින් ගමන් ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබුණ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණ අතර ඉරිදා උදේ වරුවේ 'බ්‍රිස්ටල්' ගුවන්තොටුපොළ වසා දැමීමට සිදුවිය.

ගුවන් ගමන් සඳහා නවාතැන් පොළවලින් බැහැර වීමට පෙර අදාළ සංචාර අවලංගු කර තිබේද? නැද්ද? යන්න සහතික කර ගන්නා මෙන් හීත්‍රෝ,ගැට්ස්වික්,ස්ටෑන්ස්ටඩ් සහ ලූටන් ගුවන් තොටුපොළවල කළමනාකරුවන් සිය මගීන් දැනුවත් කර ඇත.

හිම සහ අයිස් නිසා මහාමාර්ග කීපයක් වසා දැමීමට සිදු වූ අතර ඇතැම් රියැදුරන්ට ඔවුන්ගේ වාහන අත්හැර දමා යාමට සිදු විය.

Image caption මහමග සිර වූ වාහනයක් එලියට ගැනීමේ ප්‍රයත්නයක්

විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස පොලිසිය මහජනයා දැනුවත් කරයි.

සෙනසුරාදා රාත්‍රියේ ස්කොට්ලන්තයේ එඩින්බ්‍රා නගරය අසල A158 මාර්ගයේ හිම අතර සිර වූ වාහන තිස්පහක් ධාවනයට ගැනීම සඳහා හිම සෑරීමට 'ලින්කන්ෂයර්' පොලිස් නිලධාරීන්ට පැය හතක කාලයක් ගත වූ බවක් ද වාර්තා වෙයි.

Image caption පසුපස පාද නැති මේ බලු පැටියාට නම් හිම සතුටක් ගෙනා හැඩකි

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර