සුදු රයිනෝගෙන් පසු වඳ වී යාමේ අනතුරේ සිටින සත්ව විශේෂ මොනවාද?

Image copyright WWF
Image caption දැඩි අනතුරක සිටින 1958 වසරේදී සොයා ගැනුණු 'Vaquita' නමැති තල්මස් විශේෂය

ලොව අවසාන පිරිමි 'උතුරු සුදු' රයිනෝ පසුගියදා මෙලොවින් සමු ගැනීමත් සමග එම විශේෂය මිහිමතින් තුරන්ව යාමේ අවදියට පත් විය.

දැනට මිහිමත වෙසෙන ඉතිරි 'උතුරු සුදු' රයිනෝ දෙදෙනාම ගැහැණු සතුන් වන අතර යළි එම විශේෂයට ජීවය ලබා දිය හැකි වනුයේ විද්‍යාව ආධාරයෙන් පමණි. එනම් IVF තාක්ෂණය ආධාරයෙනි.

'උතුරු සුදු' රයිනෝ සතුන් වඳ වී යාමේ තත්ත්වය සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන පුණ්‍යාතනයක් වන WWF ආයතනයේ ප්‍රධානී කොලින් බට්ෆීල්ඩ් විසින් හඳුන්වනු ලැබුවේ "නරක තත්ත්වයක්" ලෙසනි.

දැඩි අනතුරක සිටින 1958 වසරේදී සොයා ගැනුණු 'Vaquita' නමැති තල්මස් විශේෂය සහ ජාවා රයිනෝ සතුන් ද 'උතුරු සුදු' රයිනෝ ගිය මග යමින් සිටින තවත් සත්ව විශේෂ දෙකකි.

එසේම සුමාත්‍රා රයිනෝ, කළු රයිනෝ, අමූර් දිවියන්, අලිඇතුන් සහ බෝනියෝ ඔරංඋටං ඇතුළු විශේෂ ගණනාවක් ද වඳ වී යාමේ දැඩි අනතුරක සිටින සතුන් ලෙස සැලකේ. ඇතැම් විශේෂ අතරින් දැනට මිහිපිට වෙසෙන්නේ සියයක් තරම් අඩු සංඛ්‍යාවකි.

Image copyright WWF
Image caption දැනට ඉතිරිව ඇත්තේ බෝනියෝ ඔරංඋටං 10,000 ආසන්න සංඛ්‍යාවකි

ශාක, ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ මුහුදු ජීවීන් වර්ග හතකට ඇතුළත් කර සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් "රතු ලැයිස්තුවක්" හඳුන්වා දී ඇත.

"අඩුවෙන්ම අවධානයට ලක් වන" විශේෂවල සිට "අවදානමට ලක්විය හැකි", "අනතුරට ලක්ව පවතින" ලෙස ඉහත කී වර්ග කොටස් තුනකට බෙදා තිබේ.

සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයට අනුව සත්ව සහ ශාක විශේෂ 5,583 දැඩි අනතුරක පවතී.

එසේම දැඩි අනතුරක පවතින විශේෂ විසිහයක්වත් 2017 වසරේදී අලුතින් නම් කරනු ලැබීය.

2016 වසරේ දී නිවේදනයක් නිකුත් කරමින් IUCN ආයතනය කියා සිටියේ Vaquita නමැති තල්මස් විශේෂයෙන් මිහිපිට ඉතිරිව ඇත්තේ 30 අඩු සංඛ්‍යාවක් බවය. දශකයක් තුළ එම විශේෂය වඳවී යාමට ඉඩ ඇති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright WWF
Image caption රුසියාවේ නැගෙනහිර කලාපයේ වෙසෙන අමූර් දිවියන්

සත්ව ගහනයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම සෑමවිටම කළ නොහැක්කකි.

නමුත් IUCN ආයතනය වෙත දත්ත සපයන සෙසු ආයතන වඩාත් නිවැරදි ඇස්තමේන්තුගත කිරීම්වලට එළඹීම සඳහා විවිධ ක්‍රම ගණනාවක් භාවිත කරති.

ගොඩබිම වෙසෙන ක්ෂීරපායී සතුන් ගණනය කිරීම සඳහා පරිසර සංරක්ෂණ ආයතන භාවිත කරන ක්‍රම:

  • GPS උපාංග
  • එක් එක් සතුන්ගේ විශේෂ සලකුණු හඳුනා ගත හැකි සඟවන ලද කැමරා
  • දඩයම් බිම්වල සලකුණු
  • වසුරු
  • පා සලකුණු
  • ගස් මත ඇති සීරීම් සලකුණු

දඩයමට ලක්වන සතුන්ගේ ප්‍රමාණය සහ එක් කලාපයකට දැරිය හැකි විශේෂ පිළිබඳ ඇස්තමේන්තු සමග ඉහත කී කරුණු මත පදනම්ව පරිසර සංරක්ෂණ ආයතන අදාළ ගණනය කිරීම් කරනු ලබයි.

එමෙන්ම සෑම වසරකදීම අලුතින් විශේෂ සොයා ගනු ලැබීම ද සිදුවේ.

Image copyright AFP
Image caption ලොව විසූ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝ සුඩාන්

කෙසේ නමුත් අපට සිතීමටත් ඉඩ නොතබා ඇතැම් විශේෂ මිහිමතින් තුරන් වනු ඇති බවට සංරක්ෂණ සංවිධාන අනතුරු අඟවති.

Brazilian spix's macaw නමැති පක්ෂි විශේෂය මිහිමතින් තුරන්ව ගිය බව සැලකුන ද 2016 වසරේ දී එම විශේෂයට අයත් එක් පක්ෂියෙකු දැකගැනීමට හැකිව තිබිණි.

වඳ වී යාමේ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් වන්නේ ගහනය පමණක්ම නොවේ.

යම් විශේෂයක් කෙතරම් අවදානමක පවතින්නේ දැයි තීරණය කරන්නේ කෙසේද?

  • ඔවුන් සියල්ල ජීවත් වන්නේ එක් කලාපයක පමණක් ද යන්න - එබැවින් එක් හේතුවක් නිසා ඔවුන් සියල්ල මිහිමතින් තුරන්ව යාමට ඉඩ ඇත නැතිනම් භූගෝලීය වශයෙන් ඔවුන් විසිර ජීවත්වේද යන්න
  • ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ගතවන කාලය සහ නිසි පමණ ගැහැණු සහ පිරිමි සතුන් ඇත්නම් කෙතරම් ඉක්මනින් යම් ගහනයකට යළි ප්‍රකෘති මට්ටමට ළඟා විය හැකිදැයි යන්න
  • ඔවුන්ට මුහුණ දීමට ඇති තර්ජන මොනවාද යන්න
  • ජානමය වශයෙන් පවතින විවිධත්වය
  • වාසභූමිවලට කෙතරම් තර්ජනයක් පවතින්නේදැයි යන්න

එක් කලාපයකට පමණක් සීමා වූ සංඛ්‍යාත්මක වශයෙන් 500 සිටින යම් විශේෂයක් 300 ක ගහනයක් සහිත වෙනත් විශේෂයකට වඩා වඳ වී යාම අතින් වැඩි අවදානමක පසුවිය හැකි යයි සැලකීමට ඉඩ ඇත. එවැනි විශේෂයක් ප්‍රජනන චක්‍රය සඳහා වැඩි කාලයක් ගනු ලබන්නේ නම් එම ගහනයට වේගයෙන් වර්ධනය විය නොහැක.

යම් සත්ව විශේෂයක් වෙනත් කිසිඳු කලාපයකට වඩා නිවර්තන කාලපයක විසිය හැක.

සංඛ්‍යාත්මක වශයෙන් ගහනය ඉහළ අගයක් ගනු ලැබුවද එක් ගංගා පද්ධතියකට බලපෑම් එල්ලවීමෙන් එම විශේෂය සම්පූර්ණයෙන්ම තුරන්ව යා හැකි අතර එම පරිසර පද්ධතියට අයත් වෙනත් සත්ව විශේෂ සඳහා ද එහි බලපෑම තදින්ම දැනෙනු ඇත.

සමාන පුවත්:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්