අර්බුදය උග්‍ර අතට;යුරෝපා හවුල මොස්කව් තානාපති ආපසු කැඳවයි

Image copyright Reuters
Image caption බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැගත් රථ මොස්කව් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල භූමියෙන් පිටව යන ආකාරය

රුසියාවේ කේජීබී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ඔත්තුකරුවකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය 'යූල්යා' ඉලක්ක කරගත් විෂ රසායන ප්‍රහාරය පිටුපස 'ක්‍රෙම්ලිනය' සිටි බවට විශාල ඉඩකඩක් ඇතැයි යුරෝපා නායකයන් අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව යුරෝපා හවුල මොස්කව් නගරයේ සිටින සිය තානාපතිවරයා ආපසු කැඳවා ඇත.

"විෂ රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් එම ස්ථාවරය හැර වෙනත් පිළිගත හැකි විකල්පයක් නොමැති බව" බ්‍රසල්ස් නගරයේ පැවැත්වුන සාකච්ඡාවකින් අනතුරුව යුරෝපා කවුන්සලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

එක්සත් රාජධානියේ 'සැලිස්බරි' නගරයේ ජීවත් වූ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරු සහ ඔහුගේ දියණිය පසුගිය මාර්තු හතරවෙනිදා හිටි අඩියේම විෂක් ශරීරගත වීමෙන් දැඩි ලෙස රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ අසාධ්‍ය තත්වයේ පසුවෙති.

එම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Image copyright EPA/skripal
Image caption සෙර්ගේයි සහ යූල්යා

බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ සමහර පිරිස් මෙම අපරාධය පිළිබඳ රුසියාවට චෝදනා එල්ල කළත්, සිය පැරණි ඔත්තුකරු සහ ඔහුගේ දියණිය රෝගාතුර වීමට සම්බන්ධ බවට එල්ලවන චෝදනා මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) සැලිස්බරි විෂ ප්‍රහාරය රුසියාව යුරෝපයට එරෙහිව සිදු ගෙනයන ආක්‍රමණයේ 'එක් ආකාරයක්' ලෙස විග්‍රහ කළාය.

මොස්කව් නගරයේ සිටි සිය තානාපතිවරයා ආපසු කැඳවන ලද්දේ "උපදේශාත්මක හමුවක්" සඳහා යයි යුරෝපා හවුල පවසයි.

"දැනට දරුණු අභියෝගයකට මුහුණ දී සිටින එක්සත් රාජධානිය සඳහා එකමුතුව ආරක්ෂාව සලසා ගැනීමේ පියවරක් වශයෙන් කොන්දේසි විරහිතව සහයෝගය දීමට ඉදිරිපත් වෙන" බව යුරෝපා කවුන්සලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් පැවසෙයි.

ඊයේ බ්‍රහස්පතින්දා (මාර්තු 04) බ්‍රසල්ස් නගරයේ දී යුරෝපා රාජ්‍ය නායකයන් අමතා කතා කළ බ්‍රිතාන්‍ය අගමැතිනිය,කේජීබී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ඔත්තුකරු සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය 'යූල්යා' ඉලක්ක කරගත් 'සැලිස්බරි' විෂ රසායන ප්‍රහාරය පිළිබඳව ඔවුන් දැනුවත් කළාය.

Image caption සැලිස්බරි විෂ ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය සහ රුසියාව අතර වාග් සංග්‍රාමයක් ආරම්භ වී ඇත.

හැටහය හැවිරිදි සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය 'යූල්යා' (Yulia) පසුගියඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ 'මැල්ටින්ග්ස්' (Maltings)සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය.

එම අවස්ථාවේ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැදිහත් වූ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියකු වන නික් බේලි (Nick Bailey) පවා එම විසට ගොදුරුව බරපතළ මට්ටමින් රෝගාතුර විය .

එබැවින් රෝහල්ගත කිරීමට සිදු වූ අතර පොලිස් නිලධාරියා මේවනවිට සුවය ලැබ රෝහලෙන් පිටත්ව ගොස් සිටියි.

සෙර්ගේයි සහ ඔහුගේ දියණිය 'යූල්යා' ඉලක්ක කරගත් විෂ රසායන ප්‍රහාරයට යොදා ගනු ලැබ තිබෙන්නේ Novichok 'නර්ව් ඒජන්ට්' විෂ රසායනය බව හඳුනා ගනු ලැබ ඇති අතර රුසියාව පසුගිය වසර දහයක කාලය තුළ එම විෂ රසායනය නිපදවා ඇති බවට සාක්ෂි ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි.

'සැලිස්බරි' සිද්ධියත් සමඟ බ්‍රිතාන්‍ය රජය රුසියාවේ තානාපති නිලධාරීන් කණ්ඩායමක් රටින් පිටුවහල් කිරීමට පියවර ගත් අතර රුසියාවත් ඊට ප්‍රතිචාරය පළ කරමින් සමාන පියවරක් ගෙන ඇත.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර