ඇමරිකානු හමුදා ප්‍රධානියා කළ ප්‍රකාශයට රුසියාවෙන් ප්‍රතිචාර

Image copyright EPA
Image caption තාලිබාන් කැරලිකරුවන්

මොස්කව් පාලනය තාලිබාන් සංවිධානයට සහාය දෙමින් අවි ආයුධ පවා ලබා දෙන බවට ඇෆ්ගනිස්තානයේ යොදවා සිටින ඇමරිකානු හමුදාවේ ප්‍රධානියා කළ චෝදනාව රුසියාව සහ තාලිබාන් සංවිධානය වෙන වෙනම ප්‍රතික්ෂේප කළහ.

පසුගිය සතියේදී බීබීසී සමග සාකච්ඡාවකට එක් වෙමින් ජනරාල් ජෝන් නිකල්සන් කියා සිටියේ "රුසියානුවන් ඇෆ්ගනිස්තානය අස්ථාවර කිරීමේ කටයුත්තක යෙදී ඇති ආකාරය" තමා දැක ඇති බවය.

ජනරාලරයාගේ ප්‍රකාශය ඉවතලන කාබුල් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය, එය "පදනම් විරහිත" සහ "නිෂ්ඵල දෙඩවිල්ලක් " ලෙස හඳුන්වයි.

මේ අතර තාලිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ "තමන්ට කිසිදු රටකින් සහායක් ලැබී නොමැති" බවය.

"ඒ සම්බන්ධයෙන් සතුරාට කිසිදු සාක්ෂියක් නැහැ" පාකිස්තානය මූලස්ථානය කර ගත් 'ඇෆ්ගන් ඉස්ලාම් ප්‍රෙස් ඒජන්සිය' වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Image caption ජනරාල් නිකොල්සන් සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ඇෆ්ඝන් අර්බුදය වෙනුවෙන් කැප කළ හමුදා නිලධාරියෙකි

'ත්‍රස්තවාදය' සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පවතින්නා වූ පොදු අභිලාෂයන් නොතකා රුසියාව ඇමරිකාව යටපත් කිරීමට කටයුතු කර ඇතැයි ජනරාල් ජෝන් නිකල්සන් බීබීසී වෙත සඳහන් කළේය.

තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තාලිබාන් ව්‍යාපාරය සඳහා රහසිගතව අවි සැපයෙන බව සඳහන් කළ ජනරාල් නිකොල්සන්, එහෙත් එය කොපමණ ප්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න තමාට කිව නොහැකි බවත් සඳහන් කළේය.

ඇමරිකානු ජනරාල්වරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව කියා සිටියේ "මෙවැනි ප්‍රකාශ සහමුලින්ම පදනම් විරහිත බව නැවතවරක් අප අවධාරණය කරනවා. මෙවැනි මනස්ගාත ප්‍රකාශ නොකරන මෙන් අප නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙනි.

ඉහළ හමුදා නිලධාරීන් "මෙවැනි බරපතළ චෝදනා" එල්ල කරන විට "බිඳ හෙළිය නොහැකි සාක්ෂි" ඉදිරිපත් කළ යුතු බවත් රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්;