රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම පක්ෂග්‍රාහී කුහක ක්‍රියාවක්-ක්‍රෙම්ලිනය

Image copyright AFP

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයක් මහා පරිමාණයෙන් සිය තානාපති නිලධාරීන් පලවා හරිනු ලැබීම "මිත්‍රශීලී නොවනවා මෙන්ම කුපිතකාරී ක්‍රියාවකැයි" රුසියාව පවසයි.

'ක්‍රෙම්ලිනය' විසින් එවැනි ප්‍රකාශයක් කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය,යුරෝපයේ රටවල් කීපයක් සහ බෝල්ටික් රාජ්‍යයන් රුසියාවේ තානාපති නිලධාරීන් පිටමං කිරීමට පියවර ගැනීමත් සමඟය.

උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් තමරට විසින් ගනු ලබන අවසන් පියවර ජනාධිපති ව්ලදිමීර් පුතින් විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි 'ක්‍රෙම්ලින්' ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පවසයි.

ඇමරිකාවේ සිටින රුසියාවේ තානාපති අනතෝලි අන්තනොෆ් (Anatoly Antonov) ප්‍රකාශයක් කරමින් රුසියානු-ඇමෙරිකානු සබඳතා අතින් තව දුරටත් ඉතිරිව තිබුණ ටිකත් එක්සත් ජනපදය විසින් විනාශ කර දමනු ලැබෙමින් ඇතැයි කියා සිටියේය.

කේජීබී හිටපු ඔත්තුකරුවකුට සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍ය භූමියේ දී එල්ල කෙරුණ විෂ රසායනික ප්‍රහාරය පිටුපස තමන් නොවූ බව රුසියාව යළි යළිත් අවධාරණය කරයි.

Image caption සැලිස්බරි විස ප්‍රහාරය සමඟ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර වාග් සංග්‍රාමයක් ආරම්භ විය

එම ක්‍රියාව තමන් මත පැටවීම දෝෂ දර්ශනයට ලක් කරන රුසියානු බලධාරීන් බ්‍රිතාන්‍ය ගත් ස්ථාවරය විග්‍රහ කරන්නේ "පක්ෂග්‍රාහී කුහක පිළිවෙතක්" හැටියටය.

හිටපු රුසියානු ඔත්තුකරුවෙකුට බ්‍රිතාන්‍යයේදී වසදීම සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන මතභේද හමුවේ රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 60 දෙනෙකු රටින් පිටුවහල් කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබුණි.

රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කරන බව ජර්මනිය, ප්‍රංශය සහ යුක්රේනය ද නිවේදනය කර ඇත.

තවත් යුරෝපීය රටවල් ගණනාවක් ද එම පියවර අනුගමනය කර තිබේ.

හිටපු රුසියානු රහස් ඔත්තුකරු සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට දකුණු එංගලන්තයේදී වසදීමට රුසියාව බොහෝ දුරට වගකිව යුතු බවට පසුගිය සතියේ යුරෝපා නායකයෝ එකඟ වූහ.

Image copyright EPA/YULIA SKRIPAL
Image caption කර්නල් සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය යූල්යා (Yulia)

රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට අමතරව සියැට්ල් නුවර පිහිටි කොන්සල් කාර්යාලය ද වසා දැමීමට එක්සත් ජනපදය තීරණය කර ඇතැයි රොයිටර්ස පුවත් සේවය පවසයි.

පිටුවහල් කිරීමට නියමිත 60 දෙනා අතරින් 48 දෙනෙකු වොෂින්ටනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ සේවයේ නියුතු රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන්ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන යුක්රේනයේ ජනාධිපති පෙත්‍රෝ පොරොෂෙන්කෝ පවසන්නේ "අපේ බ්‍රිතාන්‍ය හවුල්කරුවන්ට සහ අන්තර් අත්ලාන්තික මිතුරන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් සහ යුරෝපා රටවල් සමග සම්බන්ධීකරණයෙන්" එම පියවර ගන්නා බවය.

මේ අතර සඳුදා (මාර්තු 26) පෙරවරුවේ ලත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ පෝලන්තය සිය රටවල සිටින රුසියානු තානාපතිවරු සිය විදේශ අමාත්‍යාංශවලට කැඳවා තිබුණි.

තවත් කියවන්න: