උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරයේ තොරතුරු හෙළිවෙයි

  • 2018 මාර්තු 28
Image caption කිම් ජොන් උන් යුවළ ෂි ජින් පිං යුවළ සමඟ

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බේජිං නගරයට ගොස් අප්‍රකාශිත මට්ටමින් චීන ජනාධිපතිවරයා හමු වූ බව මේ වනවිට තහවුරු කරනු ලැබ ඇත.

එවැනි සංචාරයක් සිදු වීද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැවතුණේ අවිනිශ්චිත තත්වයකි.

උතුරු කොරියාවේ ඉහළම මට්ටමේ නායකයෙක් 'බේජිං' නගරයට ගිය බවට මාධ්‍ය මගින් වාර්තා කෙරුණත් ඔහු කවුරුන්ද යන්න ලොවට රහසක්ව තිබුණි.

එහෙත් එම රහස නිරාකරණය වී තිබෙන්නේ චීනයේ 'ෂින්හුආ' (Xinhua)රාජ්‍ය පුවත් සේවය විසින් පළ කරන ලද වාර්තාවක් සමඟය.

"උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික විරහිත කලාපයක් බවට පත් කරනු ලැබීම සඳහා ඔහුගේ කැපවීම ප්‍රකාශයට පත් කළ" බව 'ෂින්හුආ' (Xinhua)රාජ්‍ය පුවත් සේවය විසින් උපුටා දක්වා ඇති වාර්තාවක දැක්වෙයි.

එසේම ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සාකච්ඡා කිරීම සඳහා කිම් ජොන් උන් සිය සූදානම තහවුරු කළ බව චීන රාජ්‍ය පුවත් සේවය පවසයි.

Image copyright Getty Images
Image caption වසර හතකට පෙර උතුරු කොරියාවේ පාලනය පැවරුණ කිම් ජොන් උන් ඉන් අනතුරුව සිදු කරන ලද පළමු විදේශ සංචාරය මෙයයි.

මෙයින් වසර හතකට පෙර උතුරු කොරියාවේ පාලනය පැවරුණ කිම් ජොන් උන් ඉන් අනතුරුව සිදු කරන ලද පළමු විදේශ සංචාරය මෙයයි.

එම සංචාරය උතුරු කොරියානු නායකයා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් ආරම්භ වීමට පෙර සිදුවීම ගැනත් ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.

එම සංචාරය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා පෞද්ගලික මට්ටමින් ජනාධිපති ට්‍රම්ප් දැනුවත් කළ බව ධවල මන්දිරය මේ අතර පවසයි.

එසේම චීනයේ ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියකු විසින් කිම් ජොන් උන් සිදු කළ 'බේජිං' සංචාරය පිළිබඳව දකුණු කොරියාව දැනුවත් කරනු ලැබීමට නියමිතව ඇත.

සබැඳි පුවත් ;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර