අසු හිමියෙක් වීම සහ අසු පිට යාමේ 'වරදට' ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක්

  • 2018 අප්‍රේල් 2
India
Image caption ඉන්දියාවේ සමහර ප්‍රදේශවල අශ්වයකු හිමිකර ගැනීම යනු බලය සහ ධනය සංකේතවක් කරන්නක් ලෙස දැකිය හැකිය

අශ්වයෙකු හිමි කරගැනීමේ සහ ඒ අසු පිට යාමේ 'වරද' හේතුවෙන් ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් තරුණ ගොවියෙකුට පහර දී මරා දමා තිබේ.

උසස් යයි සම්මත කුලයකට අයත් තිදෙනෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම පිණිස පොලිස් භාරයට ගෙන ඇත.

අශ්වයන් පැදීම උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් පමණක් සතු වරප්‍රසාදයක් බව පවසමින් අසු පිට යෑම නතර කරන ලෙස සිය පුතුට අනතුරු ඇඟවීම් ලැබුණ බව මියගිය තරුණයාගේ පියා පවසයි.

අශ්වයකු සතුවීම යනු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල බලය සහ ධනය සංකේතවක් කරන්නක් ලෙස සැලකේ.

මේ තොරතුරුද දැනගන්න:

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අශ්වයකු හිමිවීම හැරුණු කොට වෙනත් බාහිර කරුණු ද බැහැර නොකළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

ගුජරාට් ප්‍රාන්තයේ ටිම්බි (Timbi) ගම්මානය අසල රුධිර ගංගාවක් මැද වැටී සිටි විසි එක් හැවිදිරි ප්‍රදීප් රතොඩ්ගේ (Pradeep Rathod) මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා සොයා ගන්නා ලදි. මරා දැමුණු අශ්වයාගේ සිරුර ද ඔහු අසල තිබූ බව පියා පැවසීය.

සිය පුතා අශ්වයන්ට දැඩි ලෙස ඇලුම් කළ නිසා ඔහුට අශ්වයෙකු මිලදී ගෙන දුන් බව පියා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් කර තිබේ.

"මගේ පුතා අශ්වයන්ට ආදරය කිරීම මේ මරණයට හේතුවයි," ලෙස පියා පොලිස් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි AFP පුවත් සේවය වාර්තා කර සිටියි.

"මීට සතියකට පමණ පෙර මගේ පුතා සමඟ අශ්වයෙකු පිට ගමන් කරද්දී, ක්ෂත්‍රිය කුලයට අයත් පුද්ගලයෙක් ඇවිත් ගම ඇතුළේ අශ්වයන් පදින්න එපා කියල අනතුරු ඇඟෙව්වා," යනුවෙන් ද පැමිණිල්ලේ දැක්වේ.

"දලිත් ප්‍රජාවට අශ්වයන් පැදීම කළ නොහැකි බවත්, අශ්වයන් පිට යා හැක්කේ ක්ෂත්‍රිය කුලයට අයත් පුද්ගලයන්ට පමණක් බවත් ඔහු කිවුවා. අප අශ්වයා විකුණන්නේ නැතිනම් අපිව මරා දමන බවට ඔහු තර්ජනය කළා."

දකුණු ආසියානු කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරක අන්බසන් එතිරජාන් වාර්තා කරන පරිදි, කලින් "හීනකුල" පුද්ගලයන් ලෙස හැඳින්වුණ දලිත් කුලයට අයත් ජනතාවට එරෙහි ප්‍රහාර සහ වෙනස්කම් පිළිබඳ ඉන්දියාවෙන් නිතර අසන්නට ලැබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දලිත් කුලයට අයත් පුද්ගලයෙකු ගුජරාට්හි සාම්ප්‍රදායික හින්දු නර්තනයකට සහභාගි වීම හේතුවෙන් පුරුෂයන් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි.

ඉන්දියාව තුළ නීතියෙන් තහනම් කරනු ලැබ ඇතත් කුල පදනම මත වෙනස්කම් කිරීම රට පුරා බොහෝ ප්‍රදේශවලින් තවමත් නිරන්තරයෙන් වාර්තා වේ.

තවත් තොරතුරු: