'ටෙස්ලා' රිය අනතුරින් පසු'ඔටෝ පයිලට්' තාක්ෂණය ගැන ගැටලු

ටෙස්ලා Model X වර්ගයේ රිය අනතුරට ලක්වූ වහාම මියගිය එහි රියැදුරා ඇපල් සමාගමේ ඉංජිනේරුවෙකි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ටෙස්ලා Model X වර්ගයේ රිය අනතුරට ලක්වූ වහාම මියගිය එහි රියැදුරා ඇපල් සමාගමේ ඉංජිනේරුවෙකි

පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හි සිදුවූ මාරක රිය අනතුරට ලක්වූ ටෙස්ලා මෝටර් රථය එම අවස්ථාවේදී ස්ව-පැදවුම් (Auto Pilot) තත්ත්වයේ තිබී ඇතැයි ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසයි. ඒ සමග ස්ව-පැදවුම් තාක්ෂණයේ ඇති ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ගැටලු මතුකර තිබේ.

එහෙත් අදාළ අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB), එම පරීක්ෂණයේ තොරතුරු ටෙස්ලා සමාගම විසින් ප්‍රසිද්ධ කරනු ලැබීම සම්බන්ධයෙන් "නොසතුට" පළ කළේය.

එම සමාගම නිපදවූ Model X වර්ගයේ මෝටර් රථයක් මාර්තු 23 වෙනිදා කැලිෆෝර්නියා හි මාර්ගයක බාධකවල ගැටී ගිනි ගැනිණි.

අනතුරින් මියගොස් තිබුනේ ඇපල් සමාගමේ වෝල්ටර් හුවාංග් නම් ඉංජිනේරුවෙකි.

එහිදී 38 හැවිරිදි රියැදුරා එතැනම මියගිය අතර අනතුර වන අවස්ථාවේදී රථය ස්ව පැදවුම් (Auto Pilot) තත්ත්වයේ පැවති බව ටෙස්ලා මෝටර් සමාගම පැවසීය.

නමුත්, මාර්ගයේ කොංක්‍රීට් බාධක රථයේ තාක්ෂණික පද්ධතියට නිරීක්ෂණය වී ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඔවුහු කිසිවක් ප්‍රකාශ නොකළහ.

"ඊට පෙර දෘශ්‍ය හා ශ්‍රව්‍යමය අනතුරු ඇඟවීම් කීපයක් රියදුරාට ලැබී තිබුණා" යැයි සමාගමේ වෙබ් අඩවියෙහි පළවූ ප්‍රකාශයක සඳහන් විය.

"ගැටීමට පෙර තත්පර හයක් පුරා රියැදුරුගේ දෑත සුක්කානම මත නොවූ බව නිරීක්ෂණය වී තිබෙනවා"

"කොංක්‍රීට් මාර්ග බෙදීම පිළිබඳ මීටර 150ක (අඩි 490) බාධකයකින් තොර දර්ශනයක් මෙන්ම තත්පර පහක කාලයක් රියදුරුට තිබුණා. නමුත් රථයේ ලොග් වාර්තාව පෙන්වන්නේ ඔහු කිසි පියවරක් නොගත් බවයි" එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රයකට කළ හැකි දෙයින් ඇතැම් දේ ටෙස්ලා ස්ව-පැදවුම් පද්ධතියට ද කළ හැක. ඇතැම් තත්ත්වවලදී තිරිංග යෙදවුම, වේගය වැඩිකිරීම හා පැදවීම කළ හැකි වුවද, එය රියැදුරු සහායක පද්ධතියක් ලෙස වර්ගීකරණය කෙරී ඇත. ස්වාධීනව මෙහෙයවීමක් ඉන් අපේක්ෂා නොකරන බැවින් සෑමවිටම රියදුරු සිය දෑත සුක්කානම මත රඳවාගැනීම අවශ්‍ය වේ.

මේ තොරතුරුද දැනගන්න:

ටෙස්ලා රථයක් පැදවූ රියැදුරකු 2016 දී ෆ්ලොරිඩා හිදී මියගියේ සිය මාර්ගය හරහා යන ලොරියක් හඳුනා ගැනීමට එම රථයට නොහැකිවීම හේතුවෙනි.

මේ නිසා සමාගම විසින් අලුත් ආරක්‍ෂිත පියවර හඳුන්වාදෙනු ලැබූ අතර ඊට ස්ව පැදවුම ක්‍රියාවිරහිත කිරීම මෙන්ම රියැදුරු ඕනෑවට වඩා කාලයක් සුක්කානම අතහැර සිටී නම් රථය නැවතීම වැනි පියවර ද ඇතුළත් විය.

ෆෙඩරල් පරීක්ෂකයින් පසුගිය වසරේ පැවසුවේ අර්ධ ස්වයංක්‍රීය ස්ව පැදවුම් වල සීමා ගැන ටෙස්ලා සමාගමට "අවබෝධයක් තිබී නැහැ" යනුවෙනි.

කැලිෆොර්නියාහි අනතුර සිදුවුයේ ස්ව පැදවුම් තාක්ෂණය අසීරු කාලයකට මුහුණ දී සිටියදීය.

ඇමෙරිකාවේ 'ඇරිසෝනා' ප්‍රාන්තය තුළ ස්ව පැදවුම් පරීක්ෂණ පැවැත්වීම යළි ඇරඹීමට ඌබර් සමාගමට මාර්තු මස මුලදී අවසර නොලැබුණි.

එය සිදුවුයේ ස්වයංක්‍රීය රථයක්, පා පැදියක් ගෙන මාර්ගය හරහා ඇවිදගිය කාන්තාවක හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවීමෙන් පසුය.

ස්වයංක්‍රීය රථයක් පදිකයකු හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවූ පළමු අවස්ථාව එය ලෙස සැලකිණි.

එම අනතුරින් පසු උතුරු ඇමෙරිකාව තුළ සියලු ස්ව-පැදවුම් පරීක්ෂණ අත්හිටුවීමට සමාගම පියවර ගත්තේය. ඒ සමග පොදු මාර්ගවල ස්වයංක්‍රීය මෝටර් රථ පැදවීම සම්බන්ධයෙන් නැවත වරක් දැඩි අවධානයක් පළවිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ටෙස්ලා Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර තිබේ

මෑතදී වාර්තා වූයේ ටෙස්ලා වර්ගයේ සිය Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර ඇති බවකි.

මෙතෙක් එය ක්‍රියාත්මක කරන ස්වභාවය වූයේ සුක්කානමේ වූ බොත්තමින් ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම සහ ස්පර්ශක තිරයක ආධාරයෙන් අනෙකුත් හැසිරවීම් කිරීමය. එය මාර්ගය පිළිබඳ රියැදුරාගේ අවධානය බිඳින්නකි.