ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට එරෙහිව 'දලිත්' විරෝධතා

  • 2018 අප්‍රේල් 4
India Image copyright AFP
Image caption ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත.

ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැලකෙන දලිත් කුලයට අයත් පිරිස් රට පුරා දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත.

මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර ප්‍රාන්ත කීපයක මහාමාර්ග රැසක් අවහිර වී ඇත.

තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

'උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි' සඳහන් නීතිමය කරුණු අතීතයේ දී "අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඇතුළත්ව ඇත. මෙය SC/ST පනත ලෙස කෙටියෙන් හඳුන්වයි.

කුලය නිසා ඇතිවන ප්‍රචණ්ඩත්වය තවදුරටත් රට පුරා පැතිරී යමින් තිබෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නිල දත්තවලට අනුව 2016 වසර තුළ පමණක් පීඩිත කුලවලට අයත් පුද්ගලයන්ට එරෙහි අපරාධ හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා තමන් "අනතුරට භාජනය විය හැකි" ජන සමූහයක් ලෙස හැඟෙන බව දලිත් ප්‍රජාවේ නායකයෝ ප්‍රකාශ කර සිටිති.

"SC/ST පනතෙන් ඉන්දියාවේ වෙසෙන දලිත් ප්‍රජාවට එරෙහිව සිදු කරන ඕනෑම වෙනස් කොට සැලකීමක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු එම නීතිමය බැඳීම නැති වෙලා තිබෙනවා. අපිට හරිම දුකයි වගේම කම්පනයට පත් වෙලා ඉන්නේ" යැයි ඉන්දියාවේ පීඩිත කුල එකතුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ ලේකම් කේ.පී. චෞදරි පැවසුවේය.

රට පුරා විරෝධතා

Image copyright AFP
Image caption විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර ඇත.

මෙම විරෝධතා හේතුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේය.

විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර රථවාහනවලට ගිණි තැබීම හේතුවෙන් විශාල පිරිස් රැස්වීම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ. එම ප්‍රාන්තය තුළ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය ද පනවා ඇත.

රාජස්ථාන් ප්‍රාන්තයෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති බවට පොලීසිය පවසයි.

පන්ජාබ් ප්‍රාන්තයේ සියලු පාසල්, අධ්‍යාපන ආයතන, බැංකු සහ රැකියා ස්ථාන වසා දැමුණු අතර විභාග කල් දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රාන්තය තුළ රාත්‍රී 11 වනතුරු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇත. කඩු, පොලු, බැට් සහ කොඩි අත දරා ගෙන නගර කීපයක සැරිසරන විරෝධතාකරුවෝ කඩ සාප්පු වසා දැමීමට බල කරමින් සිටිති. ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීය.

මේ තොරතුරුද දැනගන්න:

අසු පිට යාමේ 'වරදට' ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක්

'ආදරය' කිරීමේ 'වරදට' වන්දි ගෙවූ යුවලක්

උත්තර් ප්‍රදේශ්, ජාකන්ද් සහ බිහාර් ප්‍රාන්තවලින් ද විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගෙන ඇතැයි වාර්තා වේ.

දලිත් ප්‍රජාවෙන් සැදුම් ලත් සංවිධානයට අයත් පිරිස් දිල්ලි අගනුවරද විරෝධතා ආරම්භ කර ඇති නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත්, අගනුවර මහා මාර්ග අවහිර වීමෙන් දැඩි රථවාහන තදබදයකට මුහුණ පා තිබිණි.

දලිත් ප්‍රජාවට ආරක්ෂාව ලබා දිය යුත්තේ ඇයි?

ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයක් ලෙස දලිත් වැසියන් හඳුන්වයි.

කෝටි විස්සක් පමණ ඉන්දියාවේ ජීවත් වන දලිත් වැසියන් ආරක්ෂා කිරීමට කොපමණ නීති රෙගුලාසි තිබුණත්, එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට දිනපතා නොයෙකුත් අඩන්තේට්ටම්, වෙනස් කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇත.

සාම්ප්‍රදායිකව උසස් යැයි සම්මත කුලයට අයත් පිරිස් පැමිණෙන පුජ්‍ය ස්ථාන, පාසල්වලට දලිත් කුලයට අයත් පුද්ගලයන්ට යෑම තහනම් වන අතර, උසස් කුලයට අයත් පුද්ගලයන් පරිහරණය කළ කෝප්පයක් හෝ පරිහරණය කිරීම ද තහනම්ය. දලිත් කුලයට අයත් පිරිසට අධ්‍යාපන සහ රැකියා අවස්ථා නොමැත. ශ්‍රම සූරාකෑමට, පරිභව කිරීම්වලට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට නිතර මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත.

දලිත් තරුණ ප්‍රජාව අතර ඉහළ යන අපේක්ෂා ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හේතුවුව ද එය දරා ගත නොහැකි උසස් කුලවලට අයත් පුද්ගලයන් ඔවුන් තවත් පීඩාවට පත් කරමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති.

"දලිත් ප්‍රජාවට අයත් පුද්ගලයන්ගේ සමාජ තත්වය යන්තම් හොඳ අතට හැරෙන්න පටන් ගත්තා විතරයි ගැටුම් වැඩි වුණා," අශෝකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රතාප් භානු මෙත් බීබීසී වෙත පැවසුවේය.

පසුගිය සතියේ ගුජරාට් ප්‍රාන්තයේ දලිත් කුලයට අයත් පිරිමි ළමයෙක් තලා පෙලා මරා දැම්මේ අශ්වයෙකු හිමි කරගෙන, ඒ අසු පැද යාමේ වරදට. අශ්වයෙකු හිමි වීම "උසස් කුලයට අයත් දෙයක්" ලෙස සැලකේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දලිත් කුලයට අයත් පුද්ගලයෙකු ගුජරාට්හි සාම්ප්‍රදායික හින්දු නර්තනයකට සහභාගි වීම හේතුවෙන් පුරුෂයන් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි.

තවත් තොරතුරු:

කුල පීඩනයට එරෙහිව 'දලිත්' පාගමනක්

කුල ගෞරවයට දිවි දුන් සමාජ මාධ්‍ය තාරකාව

මොකක්ද මේ SC/ST පනත?

1989 යේ උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි ඇතුළත් වී ඇත්තේ ඉන්දියාවේ ජීවත් වන පීඩිත කුල සහ ගෝත්‍රවලට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇති නීති සහ දඬුවම්ය.

ඉන්දියාවේ එවක පැවති නීති පද්ධතියෙන් පීඩිත කුලවලට අයත් ජන කොට්ඨාස ආරක්ෂා වන්නේ නැති නිසා මෙම පනත සම්මත කර ගන්නා ලදී.

පීඩිත කුලයකට හෝ ගෝත්‍රයකට අයත් පුද්ගලයෙකුට එරෙහිව යම් කිසි අපරාධයක් සිදු කළ විට ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාවත්, ඇප ලබා දීම සීමා කිරීමත්, එම අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි කිරීමත් මෙම පනතෙන් ක්‍රියාත්මක කර ඇත.

Image copyright Getty Images
Image caption ශ්‍රේෂ්ඨාධිකරණයට තම තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම කිසියම් අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කිරීමට ද මෙම පනත යටතේ හැකියාවක් ඇත.

පීඩිත කුලවලට අයත් පුද්ගලයන් රජයේ ආයතනවලට ඉදිරිපත් කරන පැමිණිලි සැලකිල්ලට ගන්නේ නැති අතර, මෙය බොහෝ විට සිදු වන්නේ එම කුලවලට අයත් නිලධාරීන්ගෙන් බව ඔවුහු පවසති. මේ ආකාරයෙන් රාජකාරිය පැහැර හරින රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙම පනතෙන් ලබා දී ඇත.

මෙම කුලවලට එරෙහිව සිදු වන තවත් වධහිංසා ඇතුළත් කර SC/ST පනත 2015 දී සංශෝධනය කරන ලදී.

මතභේදයට තුඩු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කුමක්ද?

Image copyright AFP
Image caption SC/ST පනත "දැඩි ලෙස අවභාවිතා" කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.

2015 වර්ෂයේ දී කුල ගැටුම් මුල් කොට ගෙන ලැබුණ පැමිණිලිවලින් 15-16% ත් ප්‍රමාණයක් ව්‍යාජ පැමිණිලි සහ පෞද්ගලික අමනාපකම් මත සිදුකල පැමිණිලි බවට වාර්තා වී ඇත. මේ හේතුවෙන් SC/ST පනත "දැඩි ලෙස අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.

"රැවුල වවන්න අවසරයි"

මායාවතී බුදු දහම වැළඳ ගනීද?

මෙම තීරණයෙන් SC/ST පනත යටතේ ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාව සහ අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි වීම නවතා දැමුණු අතර, යම් කිසි සිද්ධියක් වාර්තා වීමෙන් පසු පොලීසිය විසින් ප්‍රාථමික පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙම පරීක්ෂණය සිද්ධිය වී දින හතක් ඇතුළත සිදු කළ යුතු විය.

අදාළ අත්අඩංගුවට ගැනීම එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අනුමත කරනු ලැබිය යුතු බවට ද මෙම අධිකරණ තීරණයේ අඩංගු විය. එමෙන්ම රජයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අදාළ නිලධාරියා පත් කළ බලධාරියාගේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

මෙම තීරණය හේතුවෙන් පීඩිත කුලවලට එරෙහිව සිදුවන අපරාධ ඉහළ යා හැකි බවට විවේචන එල්ල වී ඇත.