"මට ඔරලෝසුව ආපසු කරකවන්න පුලුවන් නම් මම දරුවො හදන්නෙ නැතිව ඉන්න තිබුණා"

Image caption 'දරුවෝ ඇති අම්මාලා'

මවක් දරුවන් බිහිකිරීමත් සමග ජීවිතය දුෂ්කර වන බව පොදුවේ පිළිගන්නා කරුණක් වන නමුදු, සියලු අභියෝග පරයමින් දරුවන් සිටීම සම්පතක් ලෙස සැළකීමට බොහෝ දෙමව්පියෝ හුරු පුරුදුව සිටිති.

එම හැඟීමට එරෙහිවීම ඇතැම්විට අදහාගත නොහැක්කක් පවා විය හැකි නමුදු, දරුවන් ලැබීම පිළිබඳව පසුතැවෙන මව්වරු කීපදෙනෙක් පසුගියදා බීබීසියේ වික්ටෝරියා ඩාබිෂර් වැඩසටහනට (Victoria Derbyshire programme) සහභාගි වෙමින් සිය හැඟීම් කළහ.

"මට ඔරලෝසුව නැවත කරකවන්න පුලුවන් නම් මම දරුවො හදන්නෙ නැතිව ඉන්න තිබුණා" යනුවෙන් එම වැඩසටහනට සහභාගිවූ පනස් වියැති මවක වන රේචල් ප්‍රකාශ කළාය.

ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර බාලයාගේ වයස අවුරුදු දාහතකි. මවක් ලෙස ජිවිතයේ බොහෝ කාලයක් ඇය ගත කළේ පියෙක් නොමැති දරුවන්ගේ එකම භාරකරු ලෙසය. ඇයට යථාර්තයට මුහුණදීමට සිදුවූයේ මේ අවධියේය.

"තවත් කෙනෙක් ආරක්ෂා කරන්න තරම් මම මුහුකුරා ගිහින්ද කියල සිතුණ සමහර වෙලාවල් තිබුණා," ඇය ප්‍රකාශ කළාය.

"ඇත්තටම ඔබට මවක් වීමට අවශ්‍ය නම් එය හොඳයි. නමුත් ඔබට අනවශ්‍ය අවස්ථාවකදී දරුවන් හැදීමෙන් ඔබ උගුලකට හසුවෙනවා."

දරුවන් හැදීම තමන්ගේ ජීවිතයට කවර ලෙස බලපාන්නේදැයි තමන් දීර්ඝ ලෙස කල්පනා නොකළ බව වැඩසටහනට සහභාගි වූ තවත් මවක් ප්‍රකාශ කළාය. එසේ වුයේ නම් තමන් දරුවන් බිහි නොකරන බව ඇය පවසන්නීය.

"මම මගේ දරුවන්ට දැඩිව ආදරය කරන නිසා, මෙහෙම ප්‍රකාශ කිරීම පිළිබඳ මගේ සිත තුළ වරදකාරී හැඟීමක් තියෙනවා," ඇය ප්‍රකාශ කළාය.

"ඔබ යහපත් කෙනෙක් නොවන බව මිනිස්සු හිතන නිසා" මෙය සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ඇය පවසන්නීය.

මේ සම්බන්ධයෙන් කතා කරන අපට වඩා කතා කළ නොහැකි මව්වරු විශාල ප්‍රමාණයක් සිටිනවා යැයි වැඩසටහනට සහභාගි වූ මවක් ප්‍රකාශ කළාය.

"දරුවන් ලබා පවුලක් ලෙස ජීවත් වීම වැදගත් යැයි කෙනෙක් තමන්ගේ හදවතට අතිශයින්ම එකඟව ප්‍රකාශ කරනව නම් එසේ කළාට වරදක් නෑ," ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් සමාජයේ විවෘතව කතා නොකරන බැවින් කොපමණ මව්වරුන් ප්‍රමාණයක් ඉහත අයුරින් සිතන්නේදැයි අපැහැදිළිය. නමුත් 2016 වසරේ ජරමනියේ පවත්වන ලද සමීක්ෂණයකදී ඊට සහභාගි වූ මව්වරු 1200 දෙනෙක්ගෙන් 8% ක් තමන් දරුවන් ලැබීම පිළිබඳව කණගාටු වන බව ප්‍රකාශ කර ඇත.

මව්වරුන් වීම පිළිබඳ පසුතැවෙන කාන්තාවන් සහභාගි වූ අධ්‍යයනයක්, ඊශ්‍රායල සමාජ විද්‍යාඥයෙක්වූ ඔනා ඩොනත් (Orna Donath) විසින් 2015 වසරේදී ප්‍රකාශයට පත් කරන්නට යෙදුනාය. "මව් පදවිය නැවත හරවා යවන්නට ඇති අපේක්ෂාව" යන්න "හෙළි නොවූ මාතෘ අත්දැකීමක්" බව ඇය එහිදී ප්‍රකාශ කරන්නීය.

තවත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර