දකුණු කොරියාව: හිටපු ජනපතිනිය බලය අයුතු පරිහරණයට වැරදිකරුවේ

Image copyright AFP
Image caption හිටපු ජනාධිපතිනි පාර්ක් ගන්-හේ

දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් වසර 24 ක සිර දඬුවමකට යටත් කෙරිණි.

සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක දඩයක් (ඩොලර් මිලියන 17) ද නියම විය.

වංචා 18 ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇය ඉන් 16 ට වරදකාරිය බව අධිකරණය තීරණය කළේය.

මෙය, දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූ පිරිස්වලට එරෙහිව දීර්ඝ කාලයක් පුරා දකුණු කොරියාවේ පැවති චෝදනාවල එක් කූඨ ප්‍රාප්තියකි.

තමන්ට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළ හිටපු ජනපතිනිය තීන්දුව ලබාදෙන අද (අප්‍රේල් 06) දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියාය. මීට පෙර, අධිකරණය තමන්ට එරෙහිව කටයුතු කරන්නේ යැයි චෝදනා කළ හිටපු ජනපතිනිය මෙම නඩු කටයුත්ත වර්ජනය කළේය.

මෙම නඩු තීන්දුව සජීවී ලෙස විකාශය කිරීම සඳහා බලධාරීන් ඉඩ සැලසීම මින් පෙර නොවූ දෙයක් වුවද ඔවුන් මේ සඳහා පෙන්වා දුන්නේ මේ නඩු විභාගය සඳහා සුවිශේෂී මහජන උනන්දුවක් පැවති බවය.

හිටපු දකුණු කොරියානු නායිකාවගේ දූෂණවලට මූලික හේතුව මිත්‍ර සබඳතා බව හෙළිවේ. ඇයගේ මිතුරියක් වූ චොයි සූන්-සිල් (Choi Soon-sil) සමග එක්වී පාර්ක් ගන්-හේ දේශපාලන උපකාර සඳහා මුදල් රැස්කර ඇති බව කියැවේ.

Image copyright Reuters
Image caption හිටපු ජනාධිපතිනියගේ මිතුරිය වන චොයි සූන් සිල්

පිළිගත නොහැකි මට්ටමින් චොයි සූන්-සිල් හට නිල ලියකිලි පරිහරණයට අවස්ථාව හිටපු ජනපතිනිය විසින් ලබාදුන් බවට පැමිණිළිකරුවෝ චෝදනා කරති.

දීර්ඝ කාලයක් පුරා පැවති විරෝධතා සහ නඩු කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 2017 මාර්තු මාසයේදී හිටපු ජනපතිනිය තනතුරෙන් ඉවත් කරන ලදුව අත් අඩංගුවට ගැනිණි. එතැන් සිට මේ දක්වා ඇය රැඳවුම් භාරයේ පසුවූවාය.

තවත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර