දූෂණ චෝදනා යටතේ හිටපු ජනපතිට නඩු

Image caption හිටපු ජනාධිපති ලී මුන්-බක්

දූෂණ චෝදනාවලට වැරදිකාරිය කරනු ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයි (Park Geun-hye) ට සිරදඬුවම් නියම කිරීමෙන් දින කිහිපයකට පසුව තවත් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ.

අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, වංචනික ක්‍රියා සහ බලය අයුතු ලෙස යොදාගැනීම යන චෝදනාවලට හිටපු ජනාධිපති ලී මුන්-බක් (Lee Myung-bak) වැරදිකරු බව පැමිණිල්ලේ තර්කය වී තිබේ.

සැම්සුන් සමාගමෙන් සහ රටේ ඔත්තු සේවයෙන් ඩොලර් කෝටියකට වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සැම්සුන් සමාගම සහ ඔත්තු සේවය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ගොතන ලද චෝදනා බව පවසමින් හිටපු ජනාධිපති ලී මුන්-බක් ද එම චෝදනා බැහැර කරයි.

ලී මුන්-බක් 2008 සිට 2013 දක්වා දකුණු කොරියාවේ ජනාධිපති පදවිය හෙබවූ අතර, අදාළ චෝදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියමවිය හැකිය.

දූෂණ චෝදනා යටතේ සිය වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2012 ජුලි මාසයේදී, ඔහු ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ ඔහු පදවියෙන් ඉවත්ව යාමට මාස කිහිපයකට පෙරය.

Image copyright EPA
Image caption මහා පරිමාණ දූෂණ අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයි

දශක ගණනාවකට පසුව මියන්මාරයේ සංචාරයක නිරත වූ පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ද ඔහුය.

මේ අතර බලය අයුතු ලෙස යොදාගැනීම සහ බලහත්කාරය චෝදනාවලට වැරදිකාරිය බව තීන්දු කෙරුණ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට පසුගිය සිකුරාදා වසර 24 ක සිරදඬුවමක් නියම විය.

ඇයට ඩොලර් මිලියන 17ක දඩ මුදලක් ද නියම කෙරුණ අතර, නඩු විභාගයේ තීන්දුව සජීව ලෙසින් විකාශය කෙරිණ.

තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයි තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇය පවසයි.

මහා පරිමාණ දූෂණ අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ධුරයෙන් ඉවත් කෙරුණු ඇය පසුව අත්අඩංගුවට ගනු ලැබිණි.

තවත් කියවන්න: