ශ්‍රී ලාංකිකයන් මිලියන 21කටම ඊ-හෙල්ත් කාඩ්පත්

  • 2018 අප්‍රේල් 12
Image copyright Ministry of Health

සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් සහිත පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් ඇතුළත් ඊ-හෙල්ත් කාඩ්පත වසර 2020 වනවිට මිලියන 21 ක් වන ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් (e-health) කාඩ් පතට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව කාඩ්පත ගැන මාධ්‍ය හමුවේ හැඳින්වීමක් කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ, පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් සකස් කර සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ක්‍රමයේ අරමුණ බව ද ඇමතිවරයා කියා සිටියේය.

"යම් වෙලාවක සිහි නැති වෙලා රෝගියා ගෙනිච්චත් එතකොට වෛද්‍යවරුන්ට පහසුවෙන් ඒ කාඩ් එක මගින් තොරතුරැ ගන්න පුළුවන් රෝගියාගේ සෞඛ්‍ය තත්වය ගැන."

හදිසි අනතුරු අංශයට සිහිසුන්ව එන රෝගීන් ඔවුන්ගේ දියවැඩියාව වැනි රෝගී තත්වයන් නොදැන කරන ප්‍රතිකාර හේතුවෙන් මරණ පවා ඇතිවී තිබෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ඊ-හෙල්ත් කාඩ්පත් මගින් එවැනි තත්වයන් වලක්වාගත හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

"මේ කාඩ්පත මැෂින් එකට ගැහුවම සියළු සෞඛ්‍ය තොරතුරු එනවා. එතකොට ප්‍රතිකාර කරන්න පහසුයි."

ජනගහනයෙන් 5,000ක පිරිසක් ආවරණය වන පරිදි, පවුලේ වෛද්‍යවර‍‍යකු පත්කිරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙලට ද එමගින් දායකත්වයක් සැපයෙනු ඇති බව විශ්වාස කෙරේ.

පසුගිය අප්‍රේල් 07 වෙනි දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවති ලෝක සෞඛ්‍ය දින උත්සවයේ දී ඊ-හෙල්ත් කාඩ්පත නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබිණ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් ඊ-හෙල්ත් කාඩ්පත් පිරිනැමිණ.

2020 අවසානයේ දී සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම කාඩ්පත් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ.

තවත් ලිපි: