බ්‍රසීල කොන්ග්‍රසයේ 'ලූලා' වරු හැට දෙනෙක්

බ්‍රසීලයේ කම්කරු පක්ෂය නියෝජනය කරන කොන්ග්‍රස් සභිකයන් 60 කට වැඩි පිරිසක් එක්වරම සිය නම් වෙනස් කළහ.

ඔවුන් සියලු දෙනා 'ලූලා' නාමය සිය නමට එකතුකර තිබේ.

බ්‍රසීල විරුද්ධ පක්ෂ මහජන නියෝජිතයන් පිරිස එම පියවර ගෙන තිබෙන්නේ සිය පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා පසුගිය සති අන්තයේ බන්ධනාගාරගත කරනු ලැබීමෙන් අනතුරුවය.

හිටපු ජනාධිපතිවරයාට උපහාර වශයෙන් එම ක්‍රියාමාර්ගයට නායකත්වය දෙනු ලැබුවේ පක්ෂයේ වත්මන් සභාපතිනි ග්ලෙයිසි හොෆ්මන් (Gleisi Hoffmann) විසිනි.

ඒ අනුව කොන්ග්‍රස් මණ්ඩලයේ නිල කටයුතු සඳහා සහ ඉලෙක්ට්‍රොනික ඡන්දය දීමේ කටයුතු සඳහා මෙවක් පටන් ඇය හැඳින්වෙන්නේ 'ග්ලෙයිසි ලූලා හොෆ්මන්' යනුවෙනි.

මේ අතර කම්කරු පක්ෂයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී කණ්ඩායමේ නායිකාව වන පෝලා පිමෙන්තා (Paulo Pimenta) මෙවක් පටන් හැඳින්වෙන්නේ 'පෝලා ලූලා පිමෙන්තා' යනුවෙනි.

කම්කරු පක්ෂයේ තවත් මහජන නියෝජිතයන් පිරිසක් ඔවුන් දෙදෙනා අනුගමනය කළ අතරවාරයේ, ඔවුන්ගේ ප්‍රතිවාදී දක්ෂිණාංශික මන්ත්‍රීවරුන් පිරිසක් එයට අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඔවුහු විනිශ්චයකාර සර්ජියෝ මෝරෝ (Sérgio Moro) ගේ නම සිය නමට එකතු කළහ. හිටපු ජනාධිපති ලූලා බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ මෝරෝ විනිශ්චකාරවරයාය.

දූෂණ චෝදනාවලට වැරදිකරු බව තීන්දු කෙරුණ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා පසුගිය සෙනසුරාදා 12 වසරක සිර දඬුවම ආරම්භ කළේය. තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ, ඒවා දේශපාලන අරමුණකින් එල්ල කරන ලද චෝදනා බවය.

සබැඳි විෂයයන්