මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස්

ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් සඳුදා (අප්‍රේල් 16) රක්ෂිත බන්ධනාගාගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවශ්‍ය කොන්දේසි සපුරාලීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අඟහරුවාදා (අප්‍රේල් 17) නියෝග කළේය.

ඇප මත මුදාහැරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමන්ගෙන් පළිගැනීමට රජය දැරූ උත්සාහය ව්‍යර්ථ වූ බවට චෝදනා කළේය.

"පොදු දේපල පනත දාගෙන රජය නැවතත් රිමාන්ඩ් භාරයට පත් කරන්න සූදානම් වුණා. මාත් හිතුවේ මාස කීපයක් සිරභාරයේ ඉන්න වේවි කියලා. එහෙත් අධිකරණය යුක්තිය ඉෂ්ඨ කිරීම නිසා මට ඇප ලබාගෙන එලියට එන්න පුලුවන් උනා."

තමා සිරගත කිරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව උත්සාහය පරාජයට පත්වූ බවත්, දූෂණයට එරෙහිව සිදුකරන සිය අරගලය මෙවැනි ක්‍රියාකාරකම් වලින් අඩපන කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ඇප නියම කිරීමේදී ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඇප කොන්දේසියක් සඳුදා නියම කළාය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණය භාරයේ රඳවා ඇති බව එහිදී ඔහුගේ නීතිඥවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළත් ඒ බව තහවුරු කෙරෙන ලියකියවිලි අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණ.

අඟහරුවාදා අදාළ ලියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරිණ.

නැවත මැයි මස 11 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකාර මන්ත්‍රීවරයාට අධිකරණය නියෝග කළේය.