සිරියාව: රසායනික අවි පර්යේෂකයන්ට අවසර

Image copyright Reuters

සිරියාවේ රසායනික ප්‍රහාර එල්ල වූ බව පැවසෙන ස්ථානයේ සංචාරය කිරීම සඳහා රසායනික අවි පිළිබඳ පර්යේෂකයන්ට බදාදා (අප්‍රේල් 18) අවසර ලැබෙනු ඇතැයි රුසියාව පවසයි.

රසායනික අවි පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර කණ්ඩායම පසුගිය සෙනසුරාදා සිට සිරියාවට ගොස් සිටින නමුත් ඩුමා නගරයේ සංචාරය කිරීමට මෙතෙක් අවසර නොලැබිණි.

අප්‍රේල් 07 වෙනි දින එල්ල වූ ප්‍රහාරයෙන් සතියකට පසු සිරියානු ආණ්ඩුවේ ඉලක්ක වෙත ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය හමුදා ප්‍රහාර එල්ල කළහ.

සිරියාව සහ එහි මිත්‍ර පාර්ශවය වන රුසියාව, රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති. රුසියාව විසින් එය හඳුන්වනු ලැබුවේ ''සැලසුම් සහගත දෙයක්'' ලෙසය.

මේ අතර අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් සිරියානු රජයේ මාධ්‍ය කියා සිටියේ බටහිර පිහිටි හොම්ස් නගරයට ඉහළින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකට සිරියාව ප්‍රතිචාර දක්වා ඇති බවය.

ශයිරත් ගුවන් හමුදා කඳවුර මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වන නමුත් ප්‍රහාර එල්ල කළේ කවුරුන් විසින් දැයි යන්න එහි සඳහන්ව නැත.

ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය නිකුත් කළ තවත් නිවේදනයක සඳහන් වූයේ දමස්කස් නගරයට ඊසාන දිගින් පිහිටි ඩුමයිර් හමුදා ගුවන් තොටුපල ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර තුනක් සිරියානු ගුවන් හමුදා විසින් ව්‍යර්ථ කරනු ලැබ ඇති බවය.

''එම ප්‍රදේශය තුළ මේ මොහොතේ කිසිදු ආකාරයක ඇමරිකානු හමුදා ක්‍රියාකාරකම් සිදු වන්නේ නැහැ,'' යනුවෙන් පෙන්ටගනයේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

සිරියාවේ සිදුවන්නේ කුමක්ද?

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය සිරියාවේ ඉලක්ක වෙත එරට වේලාවෙන් සෙනසුරාදා උදෑසන මිසයිල ප්‍රහාර එල්ල කළහ.

"සාමාන්‍ය වැසියන් ඉලක්ක බවට පත් වූ සහ තවත් ගණනාවක් මරණයට පත් කළ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආණ්ඩුව විසින් එල්ල කරන ලද රසායනික ප්‍රහාරවලට" ප්‍රතිචාර වශයෙන් තමන් එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය පවසති.

Image caption මේ වසරේ පෙබරවාරි මාසය වනවිට රට හැර ගොස් ඇති සිරියානුවන්

රසායනික අවි තහනම් කිරීමේ ආයතනයේ පර්යේෂකයන් දමස්කස් අගනුවර වෙත ගොස් සිටින අතර ඔවුහු පරීක්ෂණ ආරම්භ කිරීමට සුදානමින් සිටිති.

අදාළ ස්ථානය වෙත බදාදා ඔවුන් පැමිණෙන විට ප්‍රහාරය සිදු වී දින 11 ගතව තිබෙනු ඇත.ප්‍රහාරය සඳහා රසායනික යොදා ගෙන තිබේ දැයි හඳුනා ගැනීමට එම ස්ථානයෙන් පස් සහ වෙනත් සාම්පල ලබා ගැනීමට නියමිතය.

රසායනික අවි ප්‍රහාරවල ලක් වූ බව පැවසෙන ස්ථානයේ රුසියාව සංචාරය කිරීම සම්බන්ධයෙන් අවධානය පල කළ රසායනික අවි තහනම් කිරීමේ ආයතනයේ ඇමරිකානු විශේෂ නියෝජිතයා, පරීක්ෂණවලට බාධා කිරීමේ අරමුණින් රුසියාව එහි වෙනස්කම් සිදු කිරීමේ ඉඩක් පැවතිය හැකි යයි සැක පල කළේය.

නමුත් බීබීසී 'හාඩ් ටෝක්' වැඩසටහන සමග සාකච්ඡාවකට එක් වෙමින් රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් කියා සිටියේ "මට වගකීමෙන් කිව හැකියි එම ස්ථානයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට රුසියාව කටයුතු කර නැති බව" යනුවෙනි.

එමෙන්ම ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය විසින් සාක්ෂි බවට සලකනු ලබන කරුණු පදනම් වී ඇත්තේ ''මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පල වූ වාර්තා මත පමණක් බවත්'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රසායනික අවි තහනම් කිරීමේ ආයතනය සිය පරීක්ෂණ සිදු කිරීමට ප්‍රථම ඉහත කී රටවල් සිරියාව වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම අමාත්‍ය ලවුරෝෆ් සහ වෙනත් පාර්ශවවල විවේචනයට ලක්ව තිබේ.

සබැඳි යොමු: