හින්දු පූජකවරයෙක් දලිත් වංශිකයෙක් කර මතින් කෝවිලට ගෙන ගියේ ඇයි?

  • 2018 අප්‍රේල් 20
Dalit India
Image caption ඉන්දියානු කුල ක්‍රමයට අනුව දලිත් කුලයට අයත් පුද්ගලයන්ට කෝවිල ඇතුළට පිවිසීම තහනම්

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ කෝවිලක පූජකවරයෙක් 'දලිත්' පීඩිත කුලයට අයත් පුද්ගලයෙකු සිය කර මතින් ගෙන කෝවිල තුළට රැගෙන ගිය පුවතක් ප්‍රබල අවධානයට ලක් වී තිබේ.

ඉන්දියානු කුල ක්‍රමයට අනුව දලිත් කුලයට අයත් පුද්ගලයන්ට කෝවිල තුළට පිවිසීම තහනම් අතර, උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන සලකන්නේ දලිත් වංශිකයන් "අපවිත්‍ර" පිරිසක් ලෙසිනි.

"දෙවියන්ගේ ඇස් ඉදිරියේ සෑම පුද්ගලයෙක්ම සමානයි කියලා මට පෙන්නන්න ඕනෙ වුණා," සීඑස් රංගරාජන් නැමැති පූජකවරයා බීබීසී තෙලිඟු භාෂා අංශයේ මාධ්‍යවේදී බාලා සතිෂ්ට පවසා සිටියේය.

දලිත් වංශිකයන් ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයක් ලෙස සැලකේ.

ඉන්දියාවේ වෙසෙන කෝටි විස්සක් පමණ වන දලිත් වැසියන් ආරක්ෂා කිරීම පිණිස බොහෝ නීති රෙගුලාසි තිබුණත්, එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට දිනපතා නොයෙකුත් අඩන්තේට්ටම්, වෙනස් කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව තිබේ.

සාම්ප්‍රදායිකව උසස් යැයි සම්මත කුලයට අයත් පිරිස් පැමිණෙන ආගමික ස්ථාන හෝ පාසල්වලට පිවිසීම දලිත් කුලයට අයත් පුද්ගලයන්ට තහනම් වන අතර, "උසස්" කුලයට අයත් පුද්ගලයන් පරිහරණය කළ කෝප්පයක් හෝ පරිහරණය කිරීම පවා ඔවුන්ට තහනම්ය.

අධ්‍යාපන සහ රැකියා අවස්ථා පවා අහිමි දලිත් වංශිකයෝ නිරන්තරයෙන් ශ්‍රම සූරාකෑමට, පරිභව කිරීම්වලට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදෙමින් සිටිති.

දලිත් තරුණ ප්‍රජාව අතර ඉහළ යන අපේක්ෂා ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හේතුවුව ද එය දරා ගත නොහැකි උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් ඔවුන් තව තවත් පීඩාවට පත් කරමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති.

Image caption ආදිත්‍ය, වසර ගණනාවක් හින්දු ආගම සහ සාහිත්‍ය හදාරා ඇති අතර තමන් ඉතා ආගමානුකූලව ජීවත් වන පුද්ගලයෙකු ලෙස හඳුන්වා සිටියේය.

රංගරාජන් හයිද්‍රාබාද් නගරයේ පිහිටි 'චිල්කුර් බලාජි' නම් ප්‍රසිද්ධ කෝවිලේ ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කරයි. දලිත් ප්‍රජාවට අයත් ආදිත්‍ය ඔහුගේ සම්පූර්ණ නම හෙළි කිරීමට අකමැති වූ අතර, පූජකවරයාගේ කර මතින් කෝවිලට ඇතුළු වූ පසු දෙදෙනාම එකට ආගමික වතාවත්වල යෙදෙනු දක්නට ලැබිණි.

"දලිත් ප්‍රජාවට එරෙහිව සමාජයෙන් බොහෝ වෙනස්කම් සිදු වෙනවා නමුත් ආගමෙන් එහෙම දෙයක් කියල නැහැ," ආදිත්‍ය පැවසීය. වසර ගණනාවක් හින්දු ආගම සහ සාහිත්‍ය හදාරා ඇති ඔහු තමන් හඳුන්වා දෙන්නේ ඉතා ආගමානුකූලව ජීවත් වන පුද්ගලයෙකු ලෙසිනි.

ශතවර්ෂ ගණනාවක සිට පැවත එන පුරාවෘතයක් මෙම ක්‍රියාව සිදු කිරීමට පාදක වූ බව රංගරාජන් පැවසීය. එම පුරාවෘතයට අනුව එක්තරා හින්දු පූජකයෙකු දලිත් කුලයට අයත් පුද්ගලයෙක් සිය කර මත තබාගෙන කෝවිල ඇතුළට රැගෙන ගොස් ඇත.

ත්‍රීඋප්පන් අල්වාර් නැමැති පීඩිත කුලයට අයත් දැඩි හින්දු භක්තිකයෙකු දිනක් හින්දූන්ගේ අති පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන 'ශ්‍රීරංගම්' කෝවිල ඉදිරිපිට හිඳ භක්ති ගීත ගායනය කරමින් සිට ඇත. ඔහුට කෝවිලට ඇතුළු වීම තහනම් විය. නමුත් මෙම ක්‍රියාව අනුමත නොකළ එක්තරා මුණිවරයෙකු ඔහුට වහාම එම ස්ථානයෙන් පිට වන මෙන් තර්ජනය කර ගලකින් දමා ගැසුවේය.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අල්වාර් වහා ඉවතට දිව ගියේය. මෙම සිද්ධියෙන් පසුව කෝවිලට ඇතුළු වූ මුණිවරයාට දේව මූර්තියෙන් රුධිරය ගලනු දක්නට ලැබිණි. තමන් සිදු කළේ අසත්පුරුෂ ක්‍රියාවක් යැයි ඔහුට වහා වැටහුණි. නැවත පිටතට ගිය මුණිවරයා අල්වාර් සිය කර මත තබාගෙන කෝවිලට ඇතුළු වී ඇති බව එකී පුරාවෘතයේ සඳහන් වේ. වර්තමානයේ දී අල්වාර් සාන්තුවරයෙකු ලෙස සලකා පුද පූජා පවත්වනු ලැබේ.

රංගරාජන්ගේ ක්‍රියාවෙන් මෙම ඉතිහාස කතාව නැවත ආවර්ජනය වීමක් සිදු විය.

Image caption පූජකවරයාගේ කර මතින් කෝවිලට ඇතුළු වූ පසු දෙදෙනාම එකට ආගමික වතාවත්වල යෙදෙනු දක්නට ලැබිණි.

මේ තොරතුරුද දැනගන්න:

"මම සිතනවා අනිත් පූජකවරුත් මේ ආකාරයටම ක්‍රියා කරයි කියලා. ඒ හැමෝම දලිත් කුලයට අයත් පුද්ගලයෙක් කර මතින් රැගෙන යෑම සිදු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දලිත් මිනිස්සුන්ට කෝවිලට ඇතුළු වී ආගමික වතාවත්වල යෙදෙන්න අවසර දෙන්න ඕනෙ," රංගරාජන් පැවසුවේය.

"මේ වගේ ලොකු වෙනසක් එක රැයකින් සිදු වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් ලොකු බලපෑමක් එල්ල වෙනවා" යැයි දලිත් ප්‍රජාව වෙනුවෙන් සටන් වදින සමාජ ක්‍රියාකාරිනියක් වන වස්මා තිලක් බීබීසී තෙලිඟු භාෂා අංශයට පැවසීය.

"කර මතින් යෑමට වඩා අපිට ඕනේ කරුණාව සහ නිර්ලෝභී බව. අපිට සමාජයේ කොටසක් වෙන්නයි අවශ්‍ය."

නමුත් මෙම ක්‍රියාව සියලු දෙනා තුළ බලාපොරොත්තු ඇති කිරීමට සමත් වූයේ නැත.

"මේ ක්‍රියාවෙන් පසු දලිත් කුලයට අයත් පිරිස් කෝවිලට පැමිණීම වැඩි වෙයිද කියන දේ ගැන මට සැකයක් තිබෙනවා. හින්දු ඇදහීම තුළ කුල ක්‍රමය කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්," යැයි මහාචාර්යවරියක සහ දලිත් ක්‍රියාකාරිනියක වන සුජාතා සුරේපල්ලි පැවසුවාය.

ඇයගේ මෙම ප්‍රකාශය හේතුවෙන් දලිත් සහ උසස් කුල අතර නැවතත් නොසන්සුන්තා මතුවෙමින් පවතී.

තවත් තොරතුරු: