ටොරොන්ටෝ: පදිකයින් වෙත වෑන් රියක් පදවා නවදෙනෙක් මියයති

  • 2018 අප්‍රේල් 23
ටොරොන්ටෝ: පදිකයින් වෙත වෑන් රියක් පදවා නවදෙනෙක් මියයති Image copyright CTV

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකන් පිරිසක් වෙත වෑන් රියක් කඩාවැදීම නිසා පුද්ගලයින් නවදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලද බව පොලිසිය පැවසීය.

නගරයේ උතුරු කොටසේ කාර්යබහුල මංසන්ධියක හටගත් මේ සිද්ධියට වගකිව යුතු රියැදුරා පළා ගිය ද පසුව අත් අඩංගුවට පත්විණි. මෙය ප්‍රහාරයක් ද යන්න තවමත් තහවුරු කරගත යුතුව ඇති බව බලධාරීහු පැවසූහ.

යොන්ග් වීථියේ වීඩියෝ අලෙවිසලක් පවත්වාගෙන යන රේසා හෂෙමි පැවසුවේ මාර්ගයේ අනෙක් පසින් විලාප හඬ නැගුනු බවය.

පදික වේදිකාව මතට නැගී වෑන් රිය මිනිසුන් වෙත ඇදී ගිය බව ඔහු කීය.

මේ තොරතුරු ද දැනගන්න:

මේ සිදුවීම් වූයේ අදාළ ස්ථානයේ සිට සැතපුම් 18 ක් (කිලෝමීටර30 ) එපිටින් ජී7, එනම් කැනඩාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් රැස්වීමකට එක්ව සිටි අතරේදීය.

වාහනය පොලිසිය විසින් නවතාගන්නා ලද බව සීබීසී ප්‍රවෘත්ති වෙත කියා සිටි ටොරොන්ටෝ පොලිසියේ ප්‍රකාෂිකා ජෙනිෆර් ජිත් සිධු, රියදුරාගේ නම, වයස හෝ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ තොරතුරු පැවසීමෙන් වැළකී සිටියාය.

"ඉතා ශෝකී සිද්ධියක්" ලෙස එම සිදුවීම හඳුන්වාදුන් ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි, මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම දෙන බව පැවසීය.

මෑතක සිට ඇමෙරිකාව සහ යුරෝපයේ මෝටර් රථ ධාවනයෙන් කෙරෙන ප්‍රහාර ඉහළ යමින් පවතී. 2017 ඔක්තෝබර් මාසයේදී නිව් යෝර්ක් හි බයිසිකල් ධාවන මගක වෑන් රියක් ධාවනය කරවීම නිසා පුද්ගලන් අටදෙනෙක් මිය ගියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර