හාර කෝටියක ආගමික නායකයා දඟ ගෙට

Image copyright Getty Images
Image caption අසරාම් බාපු (Asaram Bapu) තමාට එරෙහි සියලු චෝදනා බැහැර කරයි

ලෝකය පුරා හාර කෝටියක අනුගාමිකයන් පිරිසක් තමාට ඇතැයි කියා සිටින ඉන්දියානු ආගමික නායකයෙක් ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණ අතර, ඔහුට ජීවිතාන්තය තෙක් බල පැවැත්වෙන සිරදඬුවමක් නියම විය.

2013 වසරේ සිය ආශ්‍රමයේ දී දහසය හැවිරිදි දැරියක් දූෂණය කරන ලද බවට චෝදනා ලැබ සිටි අසරාම් බාපු (Asaram Bapu) නම් පූජකයා එම චෝදනාවට වරදකරු වන බව උතුරු ඉන්දියාවේ ජොද්පූර්(Jodhpur) නගරයේ උසාවියක් විසින් තීන්දු කරනු ලැබ ඇත.

අසරාම් බාපු (Asaram Bapu) එම නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක් වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි සැලකෙයි.

හැත්තෑ හත් හැවිරිදි අසරාම් බාපු යෝග අභ්‍යාස සහ භාවනා පුහුණු කෙරෙන ආශ්‍රම හාරසීයක් පමණ ලොව පුරා පවත්වා ගෙන යන බවත් වාර්තා වෙයි.

ඔහුට එරෙහිව ස්ත්‍රී චෝදනා යටතේ පවරන ලද තවත් නඩුවක් ගුජරාට් ප්‍රාන්තයේ විභාගයට ගැනෙමින් ඇත.

ඉහත කී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පූජකයාගේ අනුගාමිකයන් කලබල ඇති කිරීමට ඉඩකඩ ඇති හෙයින් ජොද්පූර්(Jodhpur) නගරයේ දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණි.

Image copyright AFP
Image caption අසරාම් බාපු ආශ්‍රමයේ පැවති සාකච්ඡා සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

අනුගාමිකයන් විසින් ව්‍යාකූල තත්වයක් ඇති කරනු ඇති බවට පැවති සැකය නිසා විනිසකරු පූජකවරයාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙන්නේ ඔහු රඳවා සිටින බන්ධනාගාරය තුළදීය.

අසරාම් බාපුගේ (Asaram Bapu) ආශ්‍රමයේ පැවති සාකච්ඡා සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම නඩුව විභාග කෙරෙන කාල පරිච්ඡේදය ඇතුළත සාක්ෂිකරුවන් නව දෙනෙක් ප්‍රහාරවලට ගොදුරු වූ අතර තිදෙනෙක් මරණයට පත්ව ඇත.

තවත් සාක්ෂිකරුවකුට සිදු වූ දෙයක් දැන ගන්නට නැත.

අසරාම් බාපු සතු ඉන්දීය දේපළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂ ගණනක් වෙතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති අතර මූල්‍ය අක්‍රමිකතා සහ මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර