කොරියානු නායක හමුවට සියල්ල සූදානම්!

Image copyright Getty Images
Image caption නායක හමුව වෙනුවෙන් යුද විරහිත කලාපයේ දැරි ආරක්ෂක විධිවිධාන යොදා ඇත.

සිකුරාදා (අප්‍රේල් 27) සිදු වීමට නියමිත දෙරටේ ඓතිහාසික නායක හමුවට එක්වෙන දූත මණ්ඩල දෙක කොරියානු රාජ්‍යයන් දෙක විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් සිකුරාදා දෙරට අතර දේශ සීමාවේ යුද විරහිත කලාපයේ ගම්මානයක දී පළමුවරට මුණ ගැසෙනු ඇත.

ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දූත මණ්ඩල ලැයිස්තු අනුව දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් සමඟ එක්ව සිටින පිරිවර කණ්ඩායම හත් දෙනෙකි.

මේ අතර සිය සහායකයන් නව දෙනකු සමඟ කිම් ජොන් අන් සාකච්ඡා මණ්ඩපයට පැමිණෙනු ඇතැයි උතුරු කොරියාව පවසයි.

එම උතුරු කොරියානු දූත මණ්ඩලයේ නව දෙනාට ඉහළ මට්ටමේ යුද හමුදා නිලධාරීන් කීප දෙනෙකුත් ඇතුළත් කර ඇති අතර ඔවුන් මෙයින් පෙර මෙවැනි සමුළු සඳහා සහභාගි වී නැති බවත් පැවසෙයි.

එම උතුරු කොරියානු යුද නිලධාරීන්ගේ සහභාගිත්වය සාම ගිවිසුමක් නිර්මාණය කිරීමක් හෝ න්‍යෂ්ටික නිරවිකරණයට අදාළ සාකච්ඡා සඳහා ඇති සූදානම සංකේතවත් කිරීමක් විය හැකි බව විශ්ලේෂකයෝ පවසති.

Image copyright EPA
Image caption නායක සාකච්ඡා සඳහා මූලික එකඟතාව ඇතිකර ගනිමින්

මෙම කොරියානු නායක සාකච්ඡා ආරම්භ කෙරෙන්නේ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සැලසුම් කරනු ලැබ ඇති හමුවකට පෙරය.

1953 වසරේ කොරියානු යුද්ධය නිම වීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් අන් ඉතිහාසයට එක්වනු ඇත.

අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති තොරතුරු අනුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් කොරියානු වේලාවෙන් සිකුරාදා උදෑසන නවයයි තිහට (09:30) දේශසීමාවේ දී කිම් ජොන් අන් පෞද්ගලිකව මුණ ගැසෙයි.

එම හමුවෙන් අනතුරුව දකුණු කොරියානු හමුදා ගෞරව සම්මාන සහිතව නායකයන් දෙදෙනා 'පන්මුන්ජොම්' (Panmunjom) ගම්මානයේ විවෘත චතුරශ්‍රයක් කරා කැඳවා ගෙන යාමට නියමිතව ඇත.

Image copyright Getty Images
Image caption දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් අන් ඉතිහාසයට එක්වනු ඇත.

අනතුරුව කොරියානු වේලාවෙන් උදැසන 10.30 ට 'පන්මුන්ජොම්' (Panmunjom) ගම්මානයේ සාම මන්දිරයේ දී ආරම්භ කෙරෙන ඓතිහාසික සාකච්ඡාවේ දී, න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය අත්හැර දැමීම සඳහා ඇති සූදානම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෑතදී පළ කරන ලද ඉඟි කිරීම් දෙස අවධානය යොමු කෙරෙනු ඇත.

උදේ වරුවේ සාකච්ඡා වටය නිමවීමෙන් අනතුරුව නායකයන් දෙදෙනා වෙන් වෙන්ව දිවා ආහාරය ගන්නා අතර උතුරු කොරියාවේ සෙසු දූත මණ්ඩලය යළි ඔවුන්ගේ භූමිය කරා යනු ඇත.

සවස් භාගයේ සාකච්ඡා වටයේ දී නායකයන් දෙදෙනා සාමය සහ සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස දෙරටේ පස් සහ ජලය එක් කරමින් පිළියෙළ කරන ලද ස්ථානයක පයින් (Pine) පැලයක් රෝපණය කරනු ඇත.

Image copyright Getty Images
Image caption දකුණු කොරියානු ජනාධිපතිවරයාට උතුරෙන් ආරාධනයක්

එම රුක් රෝපණයෙන් අනතුරුව සාකච්ඡාවේ දෙවන වටය ආරම්භ කෙරෙයි.

සාකච්ඡා නිම වෙන්නේ නායකයන් දෙදෙනා විසින් සාම ගිවිසුමක් අත්සන් තබනු ලැබීමෙන් සහ ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමෙනි.

අනතුරුව දකුණු කොරියාව විසින් පිළියෙළ කරන ලබන රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වෙන අතර කිම් ජොන් අන් යළි සිය භූමිය බල පිටත්ව යාමට පෙර නායකයන් දෙදෙනා "Spring of One" වීඩියෝ පටයක් ද නරඹනු ඇත.

මෙම ඓතිහාසික හමුව වසර ගණනාවක් කොරියානු අර්ධද්වීපයේ වැඩෙමින් පැවති ගැටුම්කාරී පරිසරය අභිබවා පෙරට යාමකි.

එහෙත් වර්තමානයේ උතුරු කොරියාව සතු න්‍යෂ්ටික සහ මිසයිල තාක්‍ෂණය කලින් පැවැත්වූ සාකච්ඡා අවධීන්හි පැවති තත්වයට වඩා ඉතා ශක්තිමත් බැවින් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ආයුධ ඉවත් කරනු ලැබීමේ එකඟතාවක් ඇතිකර ගැනීම "දුෂ්කර කාර්යයක්" විය හැකැයි දකුණු කොරියාව පවසයි.

Image copyright AFP
Image caption කිම් ජොන් අන් න්‍යෂ්ටික අවි අපහරණය පිළිබඳ සිය අභිලාෂය පළ කළ අවස්ථාව

"මෙම සාකච්ඡාවේ ඉතා දුෂ්කර කොටස න්‍යෂ්ටික අවි හරණය සඳහා ඇති අභිලාෂය සම්බන්ධයෙන් ගිවිසුමක් කරා අවතීර්ණ වීම අතින් නායකයන් දෙදෙනා අතර ඇතිවිය හැකි එකඟතාවේ මට්ටමයි," දකුණු කොරියානු ජනාධිපති ප්‍රකාශක ඉම් ජොන් සෝක් (Im Jong-seok) පවසයි.

'පියෝන්ග්යාන්' පාලනයේ න්‍යෂ්ටික අභිලාෂයට අතිරේකව කොරියානු යුද්ධය නිමවීමෙ න් අනතුරුව අර්ධද්වීපය සඳහා සාම මාවතක් සහ සමාජ, ආර්ථික කරුණු ගණනාවක් ද සාකච්ඡා න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර