මුස්ලිම් ළමා විවාහයක් ගැන රට පුරා ආන්දෝලනයක්

Image copyright unicef
Image caption ඉන්දුනීසියාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකක්ම 18 වෙනි විය සපිරීමට ප්‍රථම පුරුෂයෙකු හා අතිනත ගන්නීය

අතිතන ගැනීම සඳහා කාලයක් මුළුල්ලේ අවසර පතමින් සිටි ඉන්දුනීසියාවේ දරුවන් දෙදෙනෙකු මේ සතියේ විවාපත්වීම රට පුරා අවධානයට ලක් වී තිබේ.

සුලාවෙසි (Sulawesi) ප්‍රදේශයේ වෙසෙන 15 හැවිරිදි තරුණයා සහ 14 හැවිරිදි තරුණිය අතිනත ගෙන තිබෙන්නේ ඒ සඳහා ආගමික අධිකරණයකින් අවසර ලබාගැනීමෙන් අනතුරුවය.

ඔවුන්ගේ විවාහය රට තුළ මෙන්ම විදේශයන්හි ද දැඩි විවේචනයට ලක් වී තිබෙන අතර, විවාහ සම්බන්ධයෙන් පවත්නා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව පවතී.

මුස්ලිම් බහුතරයක් වාසය කරන ඉන්දුනීසියාව, ලෝකයේ ළමා විවාහ වැඩිම ප්‍රමාණයක් සිදු කෙරෙන රටකි. ඉන්දුනීසියාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකක්ම දහඅට වෙනි විය සපිරීමට ප්‍රථම පුරුෂයෙකු හා අතිනත ගනිති.

වර්තමානයේ දැරියන් සඳහා විවාහවීමේ අවම වයස අවුරුඩු 16 වන අතර, පිරිමි දරුවෙකු නම් වයස අවුරුදු 19 සම්පූර්ණ කළ යුතු වේ. එහෙත් එම වයස් සීමාව නොතකා ළමා විවාහ සඳහා අවසර දීමට ආගමික අධිකරණවලට බලය තිබෙන අතර, බොහෝ විට ආගමික අධිකරණ එවැනි විවාහ සඳහා අවසර ලබා දෙති.

Image copyright BBC Indonesia
Image caption ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ

තමන් දෙදෙනා අතිනත ගැනීම සිය "දෛවය" බව වාර්තාකරුවන් හමුවේ සඳහන් කළ මනමාලිය, විවාපත්වීමට ප්‍රථම තමන් දෙදෙනා මාස පහක් ප්‍රේමයෙන් බැඳී සිටි බවත් කියා සිටියාය.

දරුවන්ගේ ප්‍රේමය ගැන හෙළි වූ අවස්ථාවේ ඔවුන් විවාපත් විය යුතු බවට දෙමාපියෝ බල කළහ.

මනාලියගේ මව ද විවාපත් වී තිබෙන්නේ 14 හැවිදිරි වියේදීය.

එහෙත් ඔවුන් දෙදෙනා බාල වියේ දරුවන් බව පවසමින් ආගමික කටයුතු පිළිබඳ කාර්යාලය ඔවුන්ට විවාහවීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කළේය.

එම තීන්දුවට එරෙහිව ඔවුන්ගේ දෙමාපියන් ආගමික අධිකරණයේ පිහිට පැතූ අවස්ථාවේ, ආගමික කටයුතු පිළිබඳ කාර්යාලයේ තීන්දුව බැහැර කළ අධිකරණය ඔවුන්ට විවාහවීමට අවසර දුන්නේය.

අවසානයේ පසුගිය සඳුදා (අප්‍රේල් 23) ඔවුන් දෙදෙනා විවාහ වූහ.

Image copyright Getty Images

පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටින 15 හැවිදිරි මනමාලයා පවසන්නේ, දැන් තමන් සිය පවුල රැක බලා ගැනීම පිණිස රැකියාවක නිරතවන බවය.

ඔවුන්ගේ විවාහය ආගමික විද්වතුන්ගේ විවේචනයට සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහත් ආන්දෝලනයකට ලක් වුවත්, ඉන්දුනීසියාව පුරාම එවැනි ළමා විවාහ නිරන්තරයෙන් සිදු වෙයි.

ඉස්ලාමීය කටයුතු සහ ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයෙකු වන ලීස් මාකෝස් (Lies Marcoes) බීබීසී ඉන්දුනීසියානු සේවයට අදහස් දක්වමින්, "මේ ප්‍රශ්නයේ බරපතලකම රාජ්‍යය වටහාගත යුතුයි. මොකද ළමා වියේ විවාහ කියන්නේ ඉහළ මාතෘ මරණවලට තුඩු දෙන නිහඬ අනතුරු ඇඟවීමක්," යනුවෙන් සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ ඉස්ලාමීය පූජකවරියන් පිරිසක් පසුගිය වසරේ ළමා විවාහවලට එරෙහිව අසාමාන්‍ය ලෙස 'ෆට්වා' නියෝගයක් නිකුත් කළහ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක් පිළිබඳ අනුවේදනීය අත්දැකීමක් සහිත විශේෂ ගවේෂණ වාර්තාවක් බීබීසී සිංහල සේවය විසින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළේය.

"කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපා ගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව," යනුවෙන් ඒ දැරිය බලහත්කාර විවාහයට තමන් විරුද්ධ වූ අන්දම බීබීසී යට හෙළි කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මානව හිමිකම් ක්‍රියාධාරිනියක් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසුවාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව තමන් කළ සමීක්ෂණයකදී දක්නට ලැබුණු බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් කියා සිටියාය.

මේ අතර විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

තවත් කියවන්න: