අනතුර ඉදිරියේ දිවි පරදුවට තබන මාධ්‍යවේදීන්

ලෝක මාධ්‍ය නිදහස් දිනය Image copyright ABBAS MOMANI/AFP
Image caption ලෝකය පුරා ජනමාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන තර්ජන වැඩිවෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික සහ සංස්කෘතික ආයතනය (UNESCO) අනතුරු ඇඟවීමක් කරයි.

මැයි මස තුන් වෙනිදා සිහිපත් කෙරෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් ලෝකය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

1990 පටන් මේ දක්වා ලෝකය පුරා මරා දමනු ලැබ ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 2,500 කට අධික බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් (Soraya Auer) බීබීසී වෙබ් අඩවියට සපයන ලද ලිපියකින් පවසන්නීය.

පසුගිය මස (අප්‍රියෙල්) 30 වෙනිදා මෑත කාලයේ මාධ්‍යවේදීන් ගොදුරු කරගත් මාරක ප්‍රහාර වාර්තා වූ දිනයකි.

එදින ඇෆ්ඝනිස්ථානයේ එල්ල කෙරුණු ප්‍රහාර දෙකකින් මාධ්‍යවේදීන් දහ දෙනකුගේ ජීවිත අහිමි කෙරිණි.

ඇෆ්ඝන් භූමියේ දී දිවි අහිමි වූ එම මාධ්‍යවේදීන් දහදෙනාත් සමඟ 2018 වසරේ මේ වනවිට වාර්තා වී ඇති මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව තිස්දෙකක් (32) බව මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) පවසයි.

එම සම්මේලනයේ දත්ත අනුව 2017 වසරේ ජනවාරි සහ මැයි අතර වාර්තා වූ මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව සමඟ සාපේක්ෂව බලන විට 2018 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ මරණ ප්‍රමාණය තුනෙන් එකකින් වැඩි වී ඇත.

මේ අතර ලෝකය පුරා ජනමාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන තර්ජන වැඩිවෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික සහ සංස්කෘතික ආයතනය (UNESCO) අනතුරු ඇඟවීමක් කරයි.

Image caption 1990 පටන් මේ දක්වා ලෝකය පුරා මරා දමනු ලැබ ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 2,500 කට අධික බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් (Soraya Auer) බීබීසී වෙබ් අඩවියට සපයන ලද ලිපියකින් පවසන්නීය.

ජගත් මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කළ 'යුනෙස්කෝ' ආයතනය බොහෝ රටවල වාර්තාකරුවන් ශාරීරික ප්‍රහාරවලට සහ හිරිහැර ආදියට මුහුණ දෙන බව පෙන්වා දෙයි.

අන්තර්ජාල අධීක්ෂණ සහ තීව්‍ර වෙමින් පවතින මාධ්‍ය වාරණය මගින් නිදහස් අදහස් ප්‍රකාශනයට තර්ජනයක් එල්ල වෙමින් පවතින බව ද 'යුනෙස්කෝ' ආයතනය පවසයි.

2017 වසරේ මරා දමන ලද මාධ්‍යවේදීන්ගෙන් වැඩිදෙනා දේශපාලන දූෂණ, සංවිධානාත්මක අපරාධ පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරතවූවන් යැයි මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක් පවසන බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් (Soraya Auer) සඳහන් කරයි.

මේ තොරතුරුද කියවන්න:

"පසුගිය වසර හයක කාලය මාධ්‍යවේදියකුට මුහුණ දීමට සිදු වූ දරුණුම අනතුරුදායක කාල පරිච්ඡේදය" වූ බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ (CPJ) නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ මහෝනි (Mahoney) පවසයි.

"බොහෝ මාධ්‍යවේදීන් මරා දමන්නේ අර්බුද මැද නොවෙයි. සිතාමතා සැලසුම් කොට ඔවුන් මරා දමනු ලබන්නේ ඔවුන් වැඩ කරන ස්ථාන වලදී" මාධ්‍යවේදීන් සුරකීමේ කමිටුවේ (CPJ) නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

ඔහු මෙහිදී පිලිපීනය ,රුසියාව සහ මෙක්සිකෝව වැනි රටවලට ඇඟිල්ල දිගු කරයි.

Image copyright Getty Images

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ මානව හිමිකම් හා සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රධානී අර්නස්ට් සගාගා පෙන්වා දෙන පරිදි ,ඇෆ්ඝනිස්තානයේ සහ මෙක්සිකෝ හි සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙන්විය හැකි වුවත්, මාධ්‍යවේදීන්ට පහරදීමට හා ඔවුන් පීඩනයට ලක්කිරීම සඳහා එකම උපාය මාර්ගය යොදාගනී.

ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදුණු බටහිර මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් මෝල්ටා සහ ස්ලෝවැකියා යන රටවලින් වාර්තාවූ විට ඒ වෙත අවධානය යොමු වුවත් මෙය පුළුල් තත්ත්වයක එක් කොටසක් පමණක් බව මහෝනි පෙන්වා දෙයි.

"ඇතැම් අවස්ථාවල ඔවුන් තුවක්කුකරුවන් හෝ කුලී මිනීමරුවන් යොදාගන්නවා" යැයි මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ප්‍රකාශකවරයා පවසයි. "නමුත් මෙවැනි සිදුවීම්වලදී ඔවුන් පූර්ණ මුක්තියක් ලබන බවක් අපට පෙනෙන්නේ ඝාතනයට අණදුන් නියම ඝාතකයා නීතිය හමුවට නොඑන නිසයි"

සිරගත කෙරුණු මාධ්‍යවේදීන්

ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ගේ ප්‍රමාණය සැලකීමේදී මාධ්‍ය වෘත්තිකයින් වාර්තාකරණයේදී මුහුණ දෙන අනතුරුදායක තත්ත්වය හඳුනාගත හැකි වුවත්, එය ඔවුන් මුහුණ දෙන එකම තර්ජනය නොවේ.

2017 දී සිරගත කෙරුණු මාධ්‍යවේදීන් ගණන දශක තුනකදී වාර්තා වූ වැඩිම ප්‍රමාණය වන අතර එය එය 252 ක් බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසයි.

තවත් තොරතුරු:

සිරගත කරන ලද මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මාධ්‍ය හිමිකම් පිළිබඳ සංවිධානය වාර්ෂිකව ගණනය කරනු ලබන්නේ දෙසැම්බර් 1 වෙනිදා වන අතර, සැබෑ සංඛ්‍යාව ඉහළ ගණනක් ගන්නට ඉඩ තිබෙන්නේ ඕනෑම අවස්ථාවක සිරගත කරනු ලැබ හෝ නිදහස් කරනු ලැබූ ප්‍රමාණයට වාර්ෂික සංඛ්‍යාලේඛන එකතු නොවන බැවිනි.

Image caption පසුගිය වසර තුළ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගණන

"සිරගත කිරීම හැමවිටම තර්ජනය කිරීමක්" යැයි පවසන සගාගා "එය සිරගත කරනු ලැබ සිටින අය නිහඬ කිරීමක් වගේම බාහිරව එය වාර්තා කරන අයට ද තර්ජනයක්" බව කියා සිටී.

සිය කාර්යය ඉටු කිරීම හේතුවෙන් වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් සිරගත කරනු ලැබූ රටවල් අතරට මාධ්‍යවේදීන් 73ක් සිරගත කළ තුර්කිය, 41 ක් සිරගත කළ චීනය හා 20 ක් සිරගත කළ ඊජිප්තුව අයත් වේ.