ඇෆ්ගනිස්ථානයේ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මරුට

ගුවන් ප්‍රහාරවලින් දරුවන් මරුට Image copyright Reuters
Image caption ප්‍රහාරවලින් දරුවන් 30 ක් මියගොස් 51 දෙනෙකුට පමණ තුවාල - එක්සත් ජාතීන්

ඇෆ්ගනිස්ථානයේ 'කුන්ඩුස්' ප්‍රදේශයට පසුගිය මාසයේ ඇෆ්ගන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඇෆ්ගනිස්ථාන රජය පවසන්නේ තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ඉලක්ක කර පසුගිය අප්‍රේල් 2 වෙනිදා මෙම ප්‍රහාර එල්ල කළ බවය.

ආගමික පාසලක් ආසන්නයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් ආගමික උත්සවයකට සහභාගි වෙමින් සිටි වැඩිහිටියන් හය දෙනෙකු ද මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ නිරීක්ෂණවලින් හෙළි වී ඇත.

මිය ගිය ගණන ඊටත් වඩා ඉහළ විය හැකි බවට "විශ්වාසනීය" වාර්තා තිබෙන බවත් වාර්තාව සඳහන් කරයි.

සිය ගණනක් පුරුෂයින් සහ පිරිමි ළමුන් සහභාගී වූ උත්සවයකට මෙලෙස රොකට් ප්‍රහාර සහ හෙලිකොප්ටරයක සිට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ඇෆ්ගනිස්ථාන රජය මුලින් ප්‍රකාශ කළේ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දහඅට දෙනෙකු එම ප්‍රහාරයේදී මරා දමන ලද බවය. සාමාන්‍ය වැසියන්ට වෙඩි තබන බවට ආණ්ඩුව තාලිබාන් සංවිධානයට චෝදනාවක් ද එල්ල කළේය.

කෙසේ වුවත්, "මියගිය සියලු දෙනාගේ සිරුරුවල බෝම්බ කැබලි සහ තියුණු යකඩ කැබලි තිබුණ," බව AFP පුවත් සේවය වෙත පැවසූ වෛද්‍යවරයෙක්, රජය පවසන පරිදි ඔවුන් මියගොස් තිබෙන්නේ වෙඩි ප්‍රහාරවලින් නොවන බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ තොරතුරුද කියවන්න:

එහෙත් එම ස්ථානයේ කිසිදු කැරලිකරුවෙකු නොසිටි බව පවසන තාලිබාන් සංවිධානය, ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙසිය දෙනෙකු මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ද සඳහන් කරයි.

තාලිබාන් කැරලිකරුවන් එම ස්ථානයේ සිටියෙහිද? නැද්ද? යන්න තහවුරු කර ගැනීමට අපහසු නමුත්, ආණ්ඩුවේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්ථාන නියෝජිතවරයෙක් ප්‍රකාශ කළේය.

තවත් තොරතුරු: