IBM ආයතනය තුළ USB උපාංග භාවිතය තහනම්

Image copyright Science Photo Library

IBM ආයතනයේ සේවකයන්ට USB උපාංග සහ SD කාඩ්පත් වැනි දත්ත ගබඩා කර ඉවත රැගෙන යා හැකි උපාංග භාවිත කිරීම තහනම් කර තිබේ.

සේවකයකුගේ නොසැලකිල්ලෙන් එම උපාංග අස්ථානගත වීමෙන් හෝ එහි ඇති දත්ත අවභාවිත කිරීම තුළින් ආයතනයේ "කීර්තිනාමය පළුදු වීම සහ මූල්‍යමය පාඩු සිදු වීම වැලැක්වීම" මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව 'ද රෙජිස්ටාර්' වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ වෙනුවට අභ්‍යන්තර සම්බන්ධතා ජාලයක් භාවිත කරමින් දත්ත හුවමාරු කර ගැනීමට කාර්යමණ්ඩලය දිරිමත් කරනු ලැබේ.

මෙම දත්ත ගබඩා උපාංග තහනම පිළිපැදීමෙන් සිය වෘත්තීමය පුරුදුවලට "බාධාවක් විය හැකි" බව ද සිය නියෝගය නිකුත් කරමින් IBM ආයතනය පිළිගෙන තිබේ.

දත්ත නැතිවීම

IBM කාර්යමණ්ඩලයට එම තීරණය දැනුම් දී තිබෙන්නේ ආයතනයේ ගෝලීය ආරක්ෂක ප්‍රධානී ශම්ලා නයිඩෝ (Shamla Naidoo) විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවකය.

ආයතනයේ සමහර දෙපාර්තමේන්තුවල දැනටමත් මෙම තහනම ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මැයි මස අග සිට ලෝකය පුරා පිහිටි ශාඛාවල සේවකයන්ට දත්ත ගබඩා කර ඉවතට රැගෙන යා හැකි උපාංග භාවිතය තහනම් බව ශම්ලා නයිඩෝ පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ජීවිතයේ සියලු තොරතුරු එක් දත්ත ගබඩාවකට

IBM ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, "ඉතා සංකීර්ණ වටපිටාවක් තුළ නොයෙක් තර්ජන එල්ල වෙමින් පවතින නිසා, IBM ආයතනය සහ අප ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට අදාළ ආරක්ෂක පියවර සහ ප්‍රමිතීන් නිරන්තරයෙන් සමාලෝචනය කර වැඩිදියුණු කරනවා," යනුවෙනි.

"මෙය IBM ආයතනය ගත් ඉතා නිර්භීත තීරණයක්. USB උපාංග භාවිත කිරීම සැබෑ අවදානම් තත්වයක්. මෙවැනි උපාංග හරහා ඉතා පහසුවෙන් ආයතනයේ දත්ත උපුටා ගැනීම සහ භයානක මෘදුකාංග හඳුන්වාදීම ද සිදු කළ හැකියි," ආරක්ෂණ විශේෂඥයෙකු වන කෙවින් බාමොන්ට් පැවසීය.

කෙසේ වෙතත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී IBM ආයතනයට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් පැවසුවේය.

"තාක්ෂණය අනුව USB උපාංග හැසිරවීම සහ ඒවාට දත්ත ගබඩා කිරීම ඉතා පහසු ක්‍රියාවලියක්," කෙවින් බාමොන්ට් පවසයි.

"නමුත් යථාර්ථවාදීව බලන විට මේවා නිසි ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරන කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙම තහනම නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට සිය වෘත්තීය පුරුදු වෙනස් කරන්න සිදු වෙනවා."

IBM ආයතනයේ තීරණය "පමණ ඉක්ම වූ ප්‍රතිචාරයක්" වන අතර, දත්ත පිටතට ගෙන යාමේ සහ ආයතනය තුළට ගෙන ඒමේ වෙනත් ක්‍රම පිළිබඳ එම ආයතනයේ දත්ත ආරක්ෂණ අංශය අවධානය යොමු කර නොමැති බව, 1E ආරක්ෂක ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුමීර් කරෙයි මේ අතර පවසයි.

"USB උපාංග තහනම් කිරීමෙන් කිසිවෙකු දත්ත සොරා ගැනීම නතර වෙන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය.

IBM ආයතනය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ, යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල දත්ත භාවිතයට අදාළ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබිය දීය.

2018 මැයි මස 25 වන දින සිට යුරෝපය තුළ දත්ත ආරක්ෂණ රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන අතර, සංවේදී දත්ත ආරක්ෂා කිරීමට අපොහොසත් වන ආයතනවලට විශාල දඩ මුදලකට යටත් වීමට සිදු විය හැකිය.

තවත් සබැඳි ලිපි: