ජෙරුසලමේ නව තානාපති කාර්යාලය: ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

Image copyright AFP

ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති.

එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති.

ගාසා තීරයේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ අමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබියදීය.

ඇමෙරිකාවේ ක්‍රියා පිළිවෙතට දැඩි විරෝධය පළ කරන පලස්තීන වැසියන් එය දකින්නේ ජෙරුසලමේ පාලනය අරභයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් හැටියටය.

නැගෙනහිර ජෙරුසලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසෙලමට පැමිණ සිටිති.

Image copyright AFP

ගාසා තීරයේ ඉස්ලාමීය පාලකයන් වන පලස්තීන හමාස් සංවිධානය ගතවගිය සති හය ඇතුළත එයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. විරෝධතාකරුවන් දේශසීමා වැට කඩා බිඳ දැමීමට උත්සාහ කරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

සඳුදා ඝාතනයට ලක් වූ පිරිස අතර දරුවන් ද සිටින බව හමාස් සංවිධානයේ පාලනයට යටත් ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ.

පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව පවසන ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියේ, සිය හමුදාව "සම්මත පටිපාටියට අනුකූලව" ක්‍රියා කරමින් සිටින බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ලෝකය ට්‍රම්ප් තීරණය හෙළා දකී

තවත් කියවන්න: