ලන්ඩනයේදී පිහි පහරකින් ශ්‍රී ලාංකිකයෙක් මිය යයි

Image copyright Met police

දකුණු ලන්ඩනයේ වීථියක දී ශ්‍රී ලාංකිකයෙකුට පිහියෙන් ඇන මරාදැමීම සම්බන්ධයෙන් සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉරිදා අලුයම් යාමයේ 28 හැවිරිදි අරුනේෂ් තංගරාජා (Arunesh Thangarajah) පිහි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ දකුණු ලන්ඩනයේ මිචැම් (Mitcham) ප්‍රදේශයේදීය. ඔහුට ස්ථිර ලිපිනයක් නැති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දකුණු ලන්ඩනයේ පොලිසියක රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, ඝාතනය පිළිබඳ ඉතා ඉක්මනින්ම මරණ පරීක්ෂණයක් කැඳවන බව ද පොලිසිය කියා සිටී.

අරුනේෂ් තංගරාජාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පළ කරන ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, ශිවෝන් මැක්ඩොනා (Siobhain McDonagh), ඒ පිළිබඳ සඳුදා පොලිසියේ පැවැත්වෙන සාකච්ඡාවකට තමන් සහභාගිවන බව ද කියා සිටියාය.

ඝාතනය සම්බන්ධ පරීක්ෂණය පිළිබඳ පොලිසියෙන් විමසීමක් කළ බව කියා සිටි ලන්ඩන් නුවර නගරාධිපති සදීක් ඛාන් (Sadiq Khan), එයට සම්බන්ධ පුද්ගලයන් යුක්තිය හමුවට පැමිණවීමට පොලිසිය තමන්ට හැකි සියල්ල ඉටු කරනු ඇති බවත් සඳහන් කළේය.

මේ වසර ඇතුළත 60 ට වැඩි පිරිසක් ලන්ඩන් නුවරදී ඝාතනයට ලක් වී ඇති අතර, එයින් අඩකට වැඩි පිරිසක් මරුමුවට පත්වූයේ පිහි පහරවලිනි.

ලන්ඩන් නුවර දිනෙන් දින ඉහළ යමින් තිබෙන අපරාධ පිළිබඳ විමසා බැලීම පිණිස මේ මාසය මුලදී ලන්ඩන් නගර සභාව විශේෂ පරීක්ෂණයක් ද දියත් කළේය.

තවත් කියවන්න: