'නිපහ්' මාරාන්තික වෛරසයෙන් ඉන්දියාවේ මරණ රැසක්

නිප වෛරසය Image copyright SK MOHAN
Image caption සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම මාරාන්තික වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ වන තෙක් එන්නතක් සොයා ගෙන නොමැත.

මාරාන්තික 'නිපහ් වෛරසය' ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දස දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගතවගිය සති දෙක ඇතුළත වෛරසය ශරීරගත වූ තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, තවත් හය දෙනෙකු සම්බන්ධ පරීක්ෂණවල ප්‍රතිඵල සඳුදා නිකුත් කිරීමට නියමිතය.

වෛරසය ශරීරගත වීමෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත තවත් විසිපස් දෙනෙකු රෝහල්ගත කරනු ලැබ තිබේ.

සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම මාරාන්තික වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ වන තෙක් එන්නතක් සොයා ගෙන නොමැත.

Image copyright AFP
Image caption වෛරසයෙන් මියගිය පුද්ගලයන් ජීවත් වූ නිවසක ළිඳේ තිබී වවුලන්ගේ මළකුණු සොයා ගන්නා ලදී

පැතිරීමේ අවදානමක් පවතින මාරාන්තික රෝග දහය අතුරින් "ඉහළින්ම තිබෙන්නේ" නිපා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ.

මේ තොරතුරුද දැනගන්න:

නිපා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කළ හෙදියක ද එම රෝගය වැළඳීමෙන් මිය ගොස් ඇති බව කේරළ සෞඛ්‍ය ලේකම් රජීව් සදානන්දන් සඳහන් කළේය.

"ආසාදිත පුද්ගලයන්ට ඇති වෛද්‍ය ප්‍රතිකාර අවම නිසා, වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අදාළ පියවර ගැනීමට අවධානය යොමු කර තිබෙනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු ආහාරයට ගන්නා වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව හඳුනාගෙන තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනෙක් සිටි නිවසක තිබී වවුලන් ආහාරයට ගත් අඹ ගෙඩි කීපයක් සොයාගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මොකක්ද මේ නිපහ්වෛරසය?

Image copyright AFP
  • නැවත මතු වෙමින් පවතින නිපහ් වෛරසය (Nipah virus (NiV) සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර, පලතුරු ආහාරයට ගන්නා වවුලන් මඟින් මෙය පැතිරෙමින් ඇත.
  • 1999 දී ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ගොවියන් සහ ඌරන් රැක බලා ගත් පුද්ගලයන් අතර බහුලව පැතිර ගියේය.
  • එවර 300කට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මෙම වෛරසය හේතුවෙන් රෝගී වූ අතර, එයින් සිය දෙනෙකු මියගොස් තිබුණි. වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ඌරන් මිලියන ගණනක් මරා දැමුණු බැවින් මැලේසියාවේ මාංශ කර්මාන්තයට දැඩි පාඩු සිදු විය.
  • වෛරසය පැතිරෙන ප්‍රදේශවල සිටින රෝගී වූ ඌරන් සහ වවුලන් මඟ හැරීමෙන් මෙන්ම ගෙඩියේ තිබිය දී පොල් වතුර පානය නොකිරීමෙන් නිපහ් වළක්වා ගත හැකිය.
  • උණ, හිසේ රුදාව, ක්ලාන්ත ගතිය, හුස්මගැනීමේ අපහසුව සහ මානසික ව්‍යාකූලතාව මෙහි රෝගී ලක්ෂණ වේ. මෙකී රෝගී ලක්ෂණ පෙන්නුම් කර පැය 24ත් 48ත් කාලයක් තුළ පුද්ගලයෙකු කෝමා තත්වයට පත් විය හැකිය.
  • නිපහ් වෛරසය වැළැක්වීමට මේ වන තෙක් එන්නතක් සොයා ගෙන නොමැත.
Image copyright AFP
Image caption 'නිපා වෛරසය' ප්‍රධාන වශයෙන් වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව හඳුනාගෙන තිබේ

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානයේ දත්ත ඇසුරෙන්)

තවත් තොරතුරු: