මියන්මාරයේ රෝහින්ග්‍යා කැරලිකරුවන් "හින්දු භක්තිකයන් සමූලඝාතනය කරලා"

Rohingya Image copyright EPA
Image caption ඝාතනයට ලක් වූ ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන් බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි

පසුගිය අගෝස්තු මාසයේ මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් කැරලිකරුවන් විසින් හින්දු භක්තික සාමාන්‍ය වැසියන් රැසක් මරා දමනු ලැබ ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය සිදු කළ ගවේෂණයකදී හෙළි වී තිබේ.

'අරකන් බේරාගැනීමේ හමුදාව' හෙවත් 'අර්සා' (Arsa) ලෙස හැඳින්වෙන කණ්ඩායම අවස්ථා දෙකක දී හින්දු භක්තික සාමාන්‍ය වැසියන් 99 දෙනෙකු ඝාතනය කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. නමුත් අර්සා කණ්ඩායම මීට ඉහතදී එම චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවසන පරිදි මෙම ඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාර හමුදාවට එරෙහිව කැරලි ආරම්භ වූ මුල් කාල වකවානුව ඇතුළතය. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් මියන්මාර හමුදාවට ද ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් ඇතුළු තවත් පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ප්‍රදේශවලින් පලා ගොස් ඇත.

ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් අතර මියන්මාර ජනගහනයෙන් බහුතරය වන බෞද්ධයන් මෙන්ම සුළුතර ජන කොටස්ක් වන හින්දු භක්තිකයන් ද සිටියහ.

ගැටුම්වලින් අවතැන්ව බංග්ලාදේශයේ සහ රඛයින් ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයන් සමග ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සාකච්ඡාවලින් හෙළි වූ පරිදි අර්සා කණ්ඩායම මෙම සමූලඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි 'මොන්ග්ඩොව්' (Maungdaw) ප්‍රදේශයේය. අගෝස්තු මස අවසානයේ දී ඔවුන් පොලිස් මුරපොළවලට ද ප්‍රහාර එල්ල කළහ.

සිවිල් වැසියන් ඉලක්ක කරගෙන අර්සා කණ්ඩායම වෙනත් ප්‍රදේශවල ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සොයාබැලීම්වල දී දැනගන්නට ලැබිණි.

Image copyright YOUTUBE
Image caption අර්සා කණ්ඩායම නිකුත් කළ මෙම ඡායාරූපයේ මැද සිටින්නේ ඔවුන්ගේ නායකයා වන 'අතා උල්ලා'

අගෝස්තු 26 වෙනි දින අර්සා කණ්ඩායම හින්දු ගම්මානයක් වන Ah Nauk Kha Maung Seik වෙත එල්ල කළ ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් කර ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මේ තොරතුරුද කියවන්න:

"මෙය ඉතා කෲර, අමන ක්‍රියාවක්. අර්සා කණ්ඩායමේ සාමාජිකයන් හින්දු කාන්තාවන්, පුරුෂයින් සහ ළමුන් බොහෝ ප්‍රමාණයක් සිය ග්‍රහණයට ගෙන ඔවුන් බියවද්දා ඔවුන්ගේ ගම්මාන තුළ දීම ඝාතනය කර තිබෙනවා," යනුවෙන් වාර්තාවේ සඳහන් වෙයි.

එම ගැටුම්වලින් දිවි බේරාගත් හින්දු පුද්ගලයන්ගෙන් සමහරෙක් සිය ඥාතීන් මරා දමනු දැක ඇති අතර අනෙක් අයට ඔවුන්ගේ කෑ ගැසීම් ඇසුණු බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමග පවසා ඇත.

"ඔවුන් පුරුෂයන් ඝාතනය කළා. අපිට ඔවුන් දිහා බලන්න එපා කිව්වා. ඔවුන් ළඟ පිහි තිබුණා. ඒ වගේම ඉස්කෝප්ප සහ යකඩ පොලු තිබුණා. අපි කැලය ඇතුළේ සැඟවුණා. හැබැයි අපිට එතන සිදු වන දේ යන්තම් දකින්න පුළුවන් වුණා. මගේ මාමා, තාත්තා සහ අයියාවත් ඔවුන් ඝාතනය කළා," Ah Nauk Kha Maung Seik ගම්මානයේ කාන්තාවක් පැවසීය.

පුරුෂයන් විසි දෙනෙකු, කාන්තාවන් දස දෙනෙකු සහ ළමුන් විසිතුන් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අර්සා කැරලිකරුවෝ චෝදනා ලබා සිටිති. ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන්ය.

පුද්ගලයන් 45 දෙනෙකුගේ මළසිරුරු එම ගම්මානයේ පිහිටි සමූහ මිනී වලකින් පසුගිය සැප්තැම්බර් මස ගොඩගත් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

අසල්වැසි ගම්මානයක 46 දෙනෙකු ඇතුළු ඝාතනය වූ අනිත් පුද්ගලයන්ගේ සිරුරු තවමත් සොයා ගෙන නොමැත.

Ye Bauk Kyar නම් අසල්වැසි ගම්මානයේ හින්දු භක්තික පුරුෂයන්, කාන්තාවන් සහ ළමුන් එකම දිනකදී ඝාතනය කර ඇති අතර, ඝාතනයට ලක් වූ මුළු ගණන 99 කි.

මියන්මාරයේ සමූහ මිනී වලවල් පිළිබඳ ඇති 'සැකය' කුමක්ද?

බීබීසී බැංකොක් වාර්තාකරු ජොනතන් හෙඩ් පවසන පරිදිරඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් විශාල පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා යෑම, ආරක්ෂක හමුදා වෙත එල්ල වන දරුණු අපරාධ චෝදනා සහ මියන්මාර ආණ්ඩුව විසින් සොයා ගත්තා යැයි නිවේදනය කළ සමූහ මිනී වල පිළිබද පසුගිය සැප්තැම්බර් මාසයේ දී ලෝකයේ දැඩි අවධානය යොමු විය.

නමුත් මරා දැමුණු පුද්ගලයන් මුස්ලිම්වරුන් නොව අර්සා කැරලිකරුවන් විසින් මරා දැමූ හින්දු භක්තිකයන් බව මියන්මාර රජය ප්‍රකාශ කළ බවත් බීබීසී වාර්තාකරු පවසයි.

එම සමූහ මිනීවල පිහිටා තිබූ ප්‍රදේශය සහ එහි ඇති මළසිරුරු දැකගැනීමට මාධ්‍යවේදීන් රැගෙන යන ලදි. කෙසේ වෙතත්, මානව හිමිකම් පිළිබඳ ස්වාධීන පරීක්ෂකයන්ට රඛයින් ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් Ah Nauk Kha Maung Seik සහ අසල්වැසි ගම්මානය වන Ye Bauk Kyar හි කුමක් සිදුවූයේ දැයි සැකයක් මතුව තිබුණි.

Image copyright Reuters
Image caption රඛයින් ප්‍රාන්තයේ ගැටුම් හේතුවෙන් ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් බංගලාදේශයට පලා ගොස් ඇත

තමන්ට එරෙහිව එල්ලවන සමූහ ඝාතන චෝදනා අර්සා කණ්ඩායම ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඔවුන් මාස හතරක කාලයක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

ජාත්‍යන්තර මාධ්‍ය රඛයින් ගැටුම් පිළිබඳ වාර්තා කිරීමේදී ස්වාධීන පිළිවෙතක් අනුගමනය නොකරන බවට මියන්මාර රජය චෝදනා කරයි. නමුත් පසුගිය සැප්තැම්බර් මස ඝාතනය වූ හින්දු භක්තිකයන් පිළිබඳ බීබීසී ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

සිය ගවේෂණයේදී, "රඛයින් ප්‍රදේශය සහ බංගලාදේශ දේශ සීමාවේ සිටින පුද්ගලයන් රැසක් සමග සාකච්ඡා කර ඇති අතර, ඡායාරූප සාක්ෂි විශේෂඥයන්ට ලබා දී පරීක්ෂණ පැවැත්වූ," බව ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පවසයි.

"මෙතෙක් ඉතා අඩුවෙන් වාර්තා වී තිබූ අර්සා කැරලිකරුවන් රඛයින් ප්‍රාන්තයේ සිදු කළ මානව හිමිකම් කඩ කිරීම් සහ ඉතිහාසයේ දැඩි අඳුරු කාලපරිච්ඡේදයක් ගැන මෙම ගවේෂණයෙන් හෙළි වී තිබෙනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ටිරානා හසන් සඳහන් කළාය.

තවත් තොරතුරු:

"අර්සා සිදු කර ඇති අතිශය කෲර ක්‍රියාවන් වගේම, අප සමග කතා කළ, මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ට ඇති වී තිබෙන හැඟීම් නොසලකා හැරිය නොහැකියි. මියන්මාර ආරක්ෂක අංශ රඛයින් ප්‍රාන්තයේ සිදු කර ඇති අපරාධ වගේම, අර්සා සිදු කර ඇති මෙම දරුණු අපරාධ සියල්ලටම වගවීම ක්‍රියාවට නැගීම තීරණාත්මක කරුණක්."

Image copyright Reuters
Image caption බංගලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා කඳවුරු

ඔවුන්ට එරෙහිව නැඟෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අර්සා, ඔවුන්ගේ සාමාජිකයන් පහර දුන්නා යැයි ගම්වාසීන් "බොරු" ප්‍රකාශ කරන බව පවසති.

රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළකා ඇත.

නමුත් පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බව රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පවසයි.

2012 වසරේ රඛයින් ප්‍රාන්තයේ හට ගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති.

කෙසේ වෙතත්, බංගලාදේශය පවා ඔවුන්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කර තිබේ.