ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අලි කුමේයිනි ගෙන් යුරෝපා බලවතුන්ට ඉල්ලීම් මාලාවක්

Image copyright AFP
Image caption ඉරානයේ අධ්‍යාත්මික නායක අලි ඛමේනෙයි

ලෝක බලවතුන් සමග පවතින න්‍යෂ්ටික ගිවිසුමේ රැඳී සිටීම සඳහා ඉරානයේ අධ්‍යාත්මික නායක අලි කුමේයිනි විසින් කොන්දේසි කීපයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඛනිජ තෙල් අලෙවිය ආරක්ෂා කිරීම සහ වෙළඳාම් සඳහා රැකවරණය ලබා දීම ද ඉහත කී කොන්දේසි අතරට ඇතුළත්ය.

ඉරානය සමග ඇති කර ගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහතදී පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ පසුගිය සඳුදා කියා සිටියේ 2015 වසරේ ගිවිසුමෙන් පසු ඉවත් කරන ලද සම්බාධක යළි පැනවීමට ඉඩ ඇති බවය.

සම්බාධක ඉවත් කිරීමට හිලව් වශයෙන්, සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමට ඉරානය එකඟ විය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ කාලයේ සිටම, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහත කී ගිවිසුම දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

වොෂිංටනය සහ ටෙහෙරානය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදුනු සමාගම්වලට ආර්ථික සම්බාධක යොදන බවට ද ජනාධිපති ට්‍රම්ප් මේ මස ආරම්භයේදී තර්ජනය කර තිබිණි.

Image copyright EPA
Image caption ටෙහෙරානයේ පැවති ඇමරිකානු, ඊශ්‍රායල විරෝධී උද්ඝෝෂණ

මේ අතර ඉරානය සමග ඇති කර ගත් ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය උත්සහ කරමින් සිටියහ.

එහෙත්, සිය අපේක්ෂාවන් මුදුන්පත් නොවන්නේ නම් තම න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ වනු ඇති බව ඉරානය පවසයි.

අයතොල්ලා කුමේයිනි ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසි මොනවාද?

  • ඛනිජ තෙල් අලෙවිය වළකාලිය හැකි ඇමරිකානු සම්බාධකවලින් යුරෝපා බලවතුන් ඉරානය ආරක්ෂා කළ යුතු අතර, තවදුරටත් ඉරාන බොර තෙල් මිලදී ගත යුතුය. ඉරානය සමග සිදු කෙරෙන වෙළඳ ගනුදෙනු යුරෝපා බැංකු විසින් ආරක්ෂා කළ යුතුය.
  • වොෂිංටනයේ ඉල්ලීම් අතර ඇති ඉරාන බැලිස්ටික් මිසයිල වැඩසටහන සහ කලාපීය සබඳතා පිළිබඳ එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු නොවන බවට, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ප්‍රතිඥා දිය යුතුය. ඉහත කී රටවලට එම ඉල්ලීම්වලට එකඟ වීමට නොහැකි නම්, යුරේනියම් ජව ගැන්වීමේ වැඩපිළිවෙල යළි බලගන්වන බව ඉරාන ආධ්‍යාත්මික නායකයා කියා සිටියේය.

ඉරානය තවදුරටත් ඇමරිකාව සමග කිසිදු ආකාරයකින් ගනුදෙනු පවත්වනු නොමැති බවත් ඔහු පැවසීය.

"සිය අත්සන ඉවත් කර ගනිමින් ජාත්‍යන්තර සම්මුතියක් පහසුවෙන් උල්ලංඝනය කරන ආණ්ඩුවක් සමග ඉස්ලාමීය ජනරජයට ගනුදෙනු කිරීමට හැකියාවක් නැහැ" යනුවෙන් ආධ්‍යාත්මික නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

අයතොල්ලා අලි කුමේයිනි ප්‍රතිචාර දැක්වූයේ කුමකටද?

අයතොල්ලා කුමේයිනි විසින් ඉහත කී අදහස් පළ කරනු ලැබුවේ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉරානය සමග කුමන හෝ ආකාරයේ නව ගිවිසුමක් සඳහා වන තමන්ගේම කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමෙන් දින දෙකකට පසුවය. ඉරාන හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීම සහ යේමනයේ කැරලිකරුවන්ට සහාය දීමෙන් වැළකී සිටීම ඉහත කී කොන්දේසි අතරට ඇතුළත්ය.

2015 වසරේ ගිවිසුමෙන් අනතුරුව ඉවත් කරන ලද ඇමරිකානු සම්බාධක යළි පනවනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය.එම සම්බාධක සහ නව පියවර එක්ව "ඉරාන රෙජීමය මත පෙර නොවූවිරූ ආකාරයේ ආර්ථික පීඩනයක්" ඇති කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.

පැරණි ඇමරිකානු සම්බාධක මගින් ඉරානය සමග ඇති සියලුම පාහේ වෙළඳ ගනුදෙනු වළකා තිබිණි.

ඉරානය ලොව විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයන් අතර වේ. වසරකට ඩොලර් බිලියන ගණනක ඛනිජ තෙල් සහ ගෑස් අපනයනය කරනු ලබයි.

ඉරානයට සම්බාධක පැනවීම එහි ඛනිජ තෙල් වෙළඳාමට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එක් කළේය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර