Fake News: ඉන්දියාවේ 'සමාජ මාධ්‍ය ව්‍යාජ පුවතක්' නිසා මරණ පහක්

india

"දරුවන් පැහැරගන්නා කණ්ඩායමක්" පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ව්‍යාජ පුවතක් හේතුවෙන් කලබලයට පත් දකුණු ඉන්දියාවේ කලහකාරී පිරිස් විසින් පස් දෙනෙකු ඝාතනය කර 20 දෙනෙකුට තුවාල කර තිබේ.

මෙම "දරුවන් පැහැරගන්නා කණ්ඩායම" පිළිබඳ පණිවුඩය දකුණු ඉන්දීය ප්‍රාන්ත තුනකවත් පැතිරගොස් ඇති බව පොලීසිය පවසයි. ඉන් මහත් ජනතා කැළඹීමක් හටගත්තේය.

කලහකාරී පිරිස් "ආගන්තුකයන්" ඉලක්ක කරගනිමින් සිටින අතර, මෙම සිද්ධියේදී කම්කරුවන් වශයෙන් එම ප්‍රාන්තවල සේවයට පැමිණි උතුරු ඉන්දියානුවන් ඉලක්ක වී තිබේ.

"දූෂමාන ආරංචි" සම්බන්ධයෙන් සැළකිලිමත් වනලෙස පොලීසිය මහජනතාවට දැනුම්දී ඇත.

"අපි ත්‍රිරෝද රථ වල සවිකළ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම පණිවුඩය ප්‍රචාරය කරනවා," ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී හින්දු සේවයට පැවසීය.

කවර හේතුවක් නිසා, කෙදිනක මෙම දූෂමාන ආරංචිය හටගත්තේදැයි අපැහැදිළි බවද ඔහු පැවසීය.

එක් පුද්ගලයෙක් ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඔහුට ප්‍රාදේශීය භාෂාව වූ තෙලුඟු කතා කිරීමට නොහැකි වූ හේතුවෙන් බවත්, ඔහු ආන්ද්‍රා ප්‍රදේශයේ සිට පැමිණි තැනැත්තෙක් බවත් පොලීසිය පවසයි.

කලහකාරීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගිය තවත් පුද්ගලයෙක් යාබද තෙලන්ගානා ප්‍රාන්තයේ සිට පැමිණි තැනැත්තෙකි.

අනෙක් මරණ ද ඒ හා සමාන හේතු නිසා සිදුව ඇති බව පොලීසිය පවසයි.

ළමයින් පැහැර ගැනීම් සම්බන්ධයෙන් පාලනය කරගත නොහැකි චිත්තාවේගයන්ගෙන් ඇති කළ දූෂමාන ආරංචි පසුගිය සති කීපයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ද පැතිර ගියේය.

එම සිදුවීමේදී, වයස අවුරුදු 55 ක් වූ කාන්තාවකට අනිසි ලෙස දඬුවම් කිරීම හේතුවෙන් 30 කට වැඩි පිරසක් අත් අඩංගුවට ගනු ලැබිණි.