'ඇපල්' අනුකරණය කිරීමේ වරදට ඩොලර් මිලියන 539ක් වන්දි ගෙවූ 'සැම්සුන්'

Image copyright APPLE

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත 'ඇපල්' සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි 'සැම්සුන්' සමාගමට නියෝග කළේය.

ලෝකයේ විශාලතම 'ස්මාර්ට්' ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළේය.

තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය.

එහෙත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණ.

වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව, ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහාවන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු වනු ඇත. iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්ලංඝනය කිරීමට වන්දි වශයෙන් ඉතිරි මුදල ගෙවිය යුතුය. මේ අනුව ගෙවිය යුතු මුළු වන්දි මුදල ඩොලර් මිලියන 539කි.

ජූරි සභාවේ සාමාජිකයන්, "සැම්සුන් ආයතනය අපේ නිෂ්පාදන අනුකරණය කිරීම වෙනුවෙන් වන්දි ගෙවිය යුතු යැයි තීරණය කිරීම" පිළිබඳ සතුටු වන බව ඇපල් සමාගම නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

මේ තොරතුරුද කියවන්න:

"මේ නඩු විභාගය මුදල්වලට වඩා වටිනවා," යනුවෙන් පැවසූ ඇපල් සමාගම ඔවුන්ගේ "මහන්සි වී වැඩ කරන, නිර්මාණශීලී සේවකයන් විශාල පිරිස" දිගින් දිගටම ආරක්ෂා කළ යුතු බව ද පැවසීය.

"පැහැදිලි දිනුමක් නැත"

ඇපල් සමාගමට වන්දි ගෙවිය යුත්තේ අනුකරණය කරන ලදැයි පවසන iPhone උපාංග වෙනුවෙන් පමණක් බව සැම්සුන් සමාගමේ තර්කය විය. ඔවුන්ට අනුව ඇපල් සමාගමට ගෙවිය යුතු මුළු මුදල වන්නේ ඩොලර් මිලියන 28ක් පමණි.

Image copyright Getty Images

නමුත් සම්පූර්ණ iPhone විකිණීමෙන් ලැබුණ ලාභයට අනුව ගණනය කරන ලද මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ඇපල් සමාගම තර්ක කළේය.

"මෙය ආයතන දෙකටම පැහැදිලි දිනුමක් නොවේ. එයට හේතුව නම්, ඇපල් සමාගම ඔවුන්ගේ පැමිණිල්ලෙන් බිලියන ඩොලර් 2.5ක වන්දියක් සැම්සුන් සමාගමෙන් ඉල්ලා තිබුණ නිසා," යැයි සිංගප්පූරුවේ IDC සමාගමේ තාක්ෂණික විශ්ලේෂකයෙකු වන කිරන්ජීත් කවුර් සඳහන් කළාය.

තීන්දුවට එරෙහිව සැම්සුන් සමාගම තවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව "ඉවත ලිය නොහැකි" බව ඇය තවදුරටත් පැවසුවාය.

තවත් තොරතුරු:

"එමෙන්ම මෙය සැම්සුන් සමාගම බලාපොරොත්තුවෙන් හෝ කැමැත්තෙන් සිටි තීන්දුවක් නොවේ. ඔවුන්ට ගෙවන්න සිදු වූ වන්දියට අමතරව, ඇපල් ජංගම දුරකතනයේ පිටත නිර්මාණය අනුකරණය කළ බව සනාථ වෙලා තියෙනවා."

"පේටන්ට් බලපත්‍ර හා බැඳුණු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කුඩා වෙළඳපොළක් හිමි සමාගම්වලට අනතුරු ඇඟවීමක් ලෙස මෙම තීන්දුව සැළකිය හැකියි," ඇය වැඩිදුරටත් කියා සිටියාය.