ඉන්දියාවේ තඹ කර්මාන්ත ශාලාවක් වසා දැමූ පොදු ජන ව්‍යාපාරය

විසි වසරකට අධික කාලයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය එල්ල වූ ස්ටර්ලයිට් (Sterlite) තඹ කර්මාන්ත ශාලාව වසාදමන ලෙස දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය නියෝග කළේය.

ප්‍රාන්ත රජය මෙම නියෝගය ලබාදුන්නේ විශාල පිරිසක් සහභාගි වූ විරෝධතා ව්‍යාපාරයකට එල්ල වූ පොලිස් වෙඩි තැබීමකින් අවම වශයෙන් 13 දෙනෙකුවත් මරුමුවට පත්වීමෙන් දින කිහිපයකට පසුවය.

කුඩා ජන විරෝධයක් ලෙස ආරම්භ වූ මෙම පොදු ජන උද්ඝෝෂණ ව්‍යාපාරය දස දහස් ගණන් ප්‍රදේශවාසීන් සහභාගිවීම දක්වා වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසින් කර්මාන්තශාලාව වසා දමන්නට යෙදින.

මේ උද්ඝෝෂකයන් කවුරුන්ද?

මතභේදයට ලක් වූ ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාව මගින් වායු සහ භූගත ජලය ද ඇතුළුව, සැළකිය යුතු පරිසර දූෂණයක් කරන බව තූත්තුකුඩි (Tuticorin) වරාය නගරයේ වැසියෝ දීර්ඝ කාලයක් මුළුල්ලේ කරුණු ගෙනහැර දැක්වූහ.

ටොන් හාර ලක්ෂයක ධාරිතාවක් සහිත ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාව හිමි වේදාන්ත සමාගම (Vedanta) දිගින් දිගටම මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. වසර 22 ක් පුරා ක්‍රියාත්මක වූ කර්මාන්ත ශාලාව වසා දැමීමට සිදුවීම සමාගම හැඳින්වූයේ "අවාසනාවන්ත වර්ධනයක්" ලෙසිනි.

තමිල්නාඩුවේ ස්ථාපිත කිරීමට ප්‍රථම මහාරාශ්ට්‍ර, ගුජරාට් සහ ගෝව ප්‍රාන්තයන්හි බල සීමාවන් තුළ කර්මාන්ත ශාලාව පිහිටුවීමට ගෙනා යෝජනා ප්‍රතික්ෂේප කෙරුණි. ව්‍යාපෘතියේ ස්වභාවය අනුව "පරිසරය දූෂණය අධික ලෙස" සිදුවන්නේ යැයි ඉන්දීය විද්‍යා සහ පරිසර කේන්ද්‍රය ඇස්තමේන්තු කිරීම ඊට හේතුව විය.

ව්‍යාපෘතිය නිවේදනය කිරීමත් සමග, පරිසර සංවිධාන සමග එක්වූ තූත්තුකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ එයට දැඩි විරෝධය පළ කළහ.

Image caption ස්ටර්ලයිට් කර්මාන්ත ශාලාව තමිල්නාඩුවේ 3500 ට පමණ රැකියා සැපයීය

ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව නොතකමින් තමිල්නාඩු පරිසර දූෂණ මණ්ඩලය සහ පරිසර අමාත්‍යාංශය එයට අනුමැතිය පළකිරීමත් සමග 1996 දී කර්මාන්ත ශාලාව ආරම්භ කෙරිණ.

විරෝධතා ව්‍යාපාරය මෙතරම් දීර්ඝ කාලයක් දරාසිටියේ කෙසේද?

සෑම මොහොතකම කර්මාන්ත ශාලාවට එරෙහිව "නිහඬ වෛරයක්" තිබූ බව 2003 සිට විරෝධතා ව්‍යාපාරයේ නියැලුන පරිසර ක්‍රියාකාරකයෙකුවන නිත්‍යානන්ද් ජයරාම් (Nityanand Jayaram) බීබීසී සේවයට පැවසීය. එමගින් සිදුවන පරිසර විනාශය පිළිබඳව ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාව නොකඩවා අසත්‍ය ප්‍රකාශ කළ බව ඔහු පැවසීය.

"සමාගම නොකඩවා මිනිසුන්ගේ අදහස් නොසළකා හැරිය නිසා අපට වැටහී ගියා ඔවුන් කිසිදිනක ඇහුම්කන් නොදෙන බව. මේ හේතුව නිසා වෛරය වියැකී ගියේ නැහැ," ඔහු පැවසීය.

"රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන්ගේ (කර්මාන්ත ශාලාවේ) පැවැත්ම සඳහා උපයෝගී කරගැනීම හෝ ප්‍රදේශවාසීන්ට බලපාන පරිසර හානියක් සිදුවන්නේය යන කරුණ අඛණ්ඩව ප්‍රතික්ෂේප කිරීම හෝ" මෙම විරෝධය යටපත් කිරීමට ප්‍රමාණවත් නොවූ බව නිත්‍යානන්ද් ජයරාම් පැවසීය.

විටින් විට සිදුවූ ගෑස් කාන්දුවීම් සහ සැළසුම් නීති අශෝබන ලෙස කඩකිරීම්, සමාගමට එරෙහි විරෝධය ශක්තිමත් ලෙස නැවත හටගැනීමට හේතු වූ බව ද ඔහු පැවසීය.

රජයේ දූෂිත ව්‍යාපෘතිවලට එරෙහිව නැගී සිටීම තමිල්නාඩුවේ ජනතාවට ආගන්තුක කටයුත්තක් නොවේ. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ යෝධයෙකු වූ යුනිලීවර් සමාගමට 2016 වසරේදී කොඩෙයිකනාල්හි (Kodaikanal) පිහිට වූ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසාදමන්නට සිදුවූයේ විෂ සහිත අපද්‍රව්‍ය අපහරණය පිළිබඳව දශක ගණනාවක් පුරා දිවගිය මහජන සටනක ප්‍රතිඵලයක් ලෙසය.

ඊට සමාන ලෙස, කුඩන්කුළම් (Kudankulam) ප්‍රදේශවාසීන් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව වසර විස්සකට වඩා විරෝධය පළ කළේය.

මෙම තත්ත්වයට එම ප්‍රදේශයේ ජනතාවගේ ඉහළ සාක්ෂරතාව විශාල පිටුවහලක් වී ඇති බව බීබීසී දෙමළ සේවයේ වාර්තාකරුවෙක් පැවසීය. එයින් ප්‍රකාශවන්නේ ජනතාව තමන්ට බලපාන විෂයයන් පිළිබඳ ඇති දැනුවත් බව යයි ඔහු පවසයි.

වසාදමන්නට සිදුවූයේ කවර හේතුවක් නිසාද?

මැයි 22 වෙනිදා තූත්තුකුඩි වැසියන් වීථිවලට රැස්වූයේ කර්මාන්ත ශාලාවට එරෙහි දින 100 ක විරෝධතාව සැමරීම පිණිසය. නමුත් පොලීසිය උද්ඝෝෂකයන් සමග ගැටීමත් සමග මාස ගණනක් දීර්ඝ සාමකාමී උද්ඝෝෂණය සාහසික ස්වරූපයක් ගත්තේය.

විශාල පිරිසක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදුණු අවස්ථාවේ වෙඩි ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි. එහිදී අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙක් ඝාතනයට ලක්වූ අතර විශාල පිරිසක් දරුණු ලෙස තුවාල ලැබූහ.

"නීති විරෝධී" පිරිසකට වෙඩි තැබීම යුක්ති සහගත යයි ප්‍රාන්ත පාලනය ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි. කෙසේ නමුත්, පොලීසියේ මෙම ක්‍රියාකලාපය ජාතික වශයෙන් හඬක් මතුවීමට තරම් ප්‍රබල වූ අතර එය මිනී මැරුමක් ලෙසින් බොහෝ දෙනා සැලකූහ.

ඉන් දින තුනකට පසු නැගී එන මහජන විරෝධය හමුවේ කර්මාන්ත ශාලාව වසාදමන ලෙස නියෝග කිරීමට ප්‍රාන්ත බලධාරීන්ට සිදුවිය.

මෙය තඹ කර්මාන්ත ශාලාවේ අවසානයද?

සැබැවින්ම මෙය ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාවේ අවසානය දැයි ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැක. මන්ද, මෙම කර්මාන්ත ශාලාව වසාදමන්නට යෙදුණු පළමු අවස්ථාව මෙය නොවේ. ගෑස් කාන්දු, වායු හා භූගත ජල දූෂණ ගැටලු හේතුවෙන් මීට පෙර ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාව සිව්වරක් වසා දමන්නට යෙදින.

ස්ටර්ලයිට් තඹ කර්මාන්ත ශාලාව ස්ථිරව වසා දැමීමට තමිල්නාඩු බලධාරීන් ගත් තීරණය මගින් තූත්තුකුඩි ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සතුටක් සහ සැහැල්ලුවක් දැණුන බවක් පෙනෙන්නට ඇති මුත්, ඒ දෙස විචාරකයන් සහ අනෙකුත් ක්‍රියාධරයන් සර්ව ශුභවාදීව බලන හැඩක් පෙනෙන්නට නැත.

කර්මාන්ත ශාලාව වසාදැමීම ඉන්දීය ආර්ථිකයට කෙසේ බලපාන්නේද?

තමිල්නාඩුවේ ස්ථාපිත ස්ටර්ලයිට් කර්මාන්ත ශාලාව දැනට ලොව ඇති හත්වන විශාලතම තඹ කර්මාන්ත ශාලාව වේ. ඉන්දීය තඹ ඉල්ලුමෙන් 36%ක් නිෂ්පාදනය කෙරෙන්නේ එහිය.

මේ හේතුවෙන් රටේ තඹ ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළයාමේ අවදානම පැනනගී. එමගින් ඇතිවන හිඟය පියවීම සඳහා අවශ්‍ය තඹ ආනයනය කරන්නේ නම්, වසරකට ඩොලර් බිලියන තුනක පමණ පිරිවැයක් දැරීමට ඉන්දියාවට සිදුවනු ඇත.

ඊට අමතරව, තමිල්නාඩු ස්ටර්ලයිට් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු 3500 ක් පමණ පිරිසකගේ රැකියා අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටිති. මීට සමාන රැකියා අවස්ථා ඉන්දියාවේ ඉතා සීමිත බව කර්මාන්ත ශාලාවේ ඉන්ජිනේරුවරයෙක් බීබීසී දෙමළ සේවයට පැවසීය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර