උෂ්ණත්වය සහ විභාග ප්‍රතිඵල අතර 'සම්බන්ධයක්'

Student studying in library

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උෂ්ණත්වය වඩාත් වැඩි වසරවල ශිෂ්‍යන් විභාගවලදී අඩුවෙන් දක්ෂතා දැක්වීමට ඉඩ ඇති බව හාවර්ඩ් සහ ඇමරිකාවේ වෙනත් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඉහළ උෂ්ණත්වය සහ අවම පාසල් දක්ෂතා අතර "සැලකිය යුතු" සම්බන්ධයක් ඇති බව පර්යේෂකයෝ පවසති.

උෂ්ණාධික කාලගුණය ප්‍රතිඵලවලට අයහපත් බලපෑමක් එල්ල කරන බව වසර 13 තුළ ඇමරිකානු ද්විතීක පාසල් සිසුන් මිලියන දහයකගේ විභාග ලකුණු විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගොස් තිබේ.

ඒ සඳහා ප්‍රයෝගික ප්‍රතිචාරයක් වශයෙන් වායු සමීකරණ භාවිත කළ හැකි බව පර්යේෂණ වාර්තාවේ සඳහන්වේ.

ග්‍රීෂ්ම සමයේ විභාග සඳහා පෙනී සිටින සිසුන් තමන්ට උෂ්ණාධික කාලගුණය බාධාවක් වූ බවට බොහෝවිට මැසිවිලි නැගිය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උෂ්ණත්වය ඉහළ යන විට පාසල් දක්ෂතා පහළ යාම පළමු වරට පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමට හාවර්ඩ්, යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස්, සහ ජෝර්ජියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී තිබේ.

ඇමරිකාවේ වෙනස් දේශගුණික තත්ත්වයන් සහ කාලගුණ රටා තුළ පාසල් සිසුන් 2001 සහ 2014 කාල සීමාවේ ඒ ඒ වර්ෂවල විභාගවලදී දක්වන ලද දක්ෂතා පර්යේෂකයන්ගේ අවධානයට ලක්ව ඇත.

සිසුන් උෂ්ණාධික වසරවලදී අඩු දක්ෂතා දැක්වීමටත් ශීත කාලගුණයක් සහිත වසරවලදී වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත් වැඩි ඉඩක් පවතින බව ඇමරිකාවේ ආර්ථික පර්යේෂණ පිළිබඳ ජාතික කාර්යාංශය පළ කරන ලද අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උෂ්ණාධික කාලගුණයකදී පාසල් තුළ ඉගනීමේ කටයුතු අපහසු කරවන බව ඉහත කී පරීක්ෂණය මගින් පෙනෙන්නට තිබේ.

එමෙන්ම පාසල් වේලාවෙන් පසු නිවසේදී සිදු කිරීමට පැවරෙන අධ්‍යාපන කටයුතු ද උෂ්ණාධික කාලගුණයකදී අපහසු කරවන බව පෙනෙන්නට තිබේ.

වසරක ඉහළ යන සෑම සෙල්සියස් අංශක 0.55 කටම ඉගනීමේ දක්ෂතා 1% පහළ යන අබව පර්යේෂකයන් විසින් ගණනය කරනු ලබා ඇත.

ශීත දිනවල අධ්‍යාපන ඉලක්කයන්ට බාධා එල්ලවන බවක් පෙනෙන්නට නොමැත. නමුත් අයහපත් බලපෑම ගණනය කිරීමට හැකි මට්ටමට පැමිණෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ඉක්ම වූ පසුවය.

ඉගනීමට ඇති හැකියාව අවම වීම වඩාත් ඉහළ යනු ලබන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විටය.

අඩු ආදායම්ලාභී සහ සුළුතර ජන ප්‍රජාවලට අයත් සිසුන්ට උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම වඩාත් වැඩි බව පර්යේෂණ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.