සැම්සුන් සමාගමට පැරණි දුරකථන යාවත්කාලීන කිරීමට බලකිරීමක් නැහැ

Image copyright Getty Images

වසර ගණනාවක් පැරණි ජංගම දුරකථනවල මෘදුකාංග යාවත්කාලීන කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ දුරකථන නිෂ්පාදකයෙක්වූ සැම්සුන් සමාගමට බලකළ නොහැකි බව නෙදර්ලන්ත අධිකරණයකදී දෙන ලද තීන්දුවකින් පසු තහවුරු වී තිබේ.

අවම වශයෙන් සිව් වසරකට වරක් හෝ දුරකථන යාවත්කාල කිරීම සැම්සුන් සමාගම කළයුතුයැයි නෙදර්ලන්ත පාරිභෝගික සංගමයක තර්කය විණි.

මෘදුකාංග නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම මගින් ආරක්ෂාව පිළිබඳ ගැටලු නිරාකරණය වන නමුත්, පැරණි දුරකථනවලට මෙම යාවත්කාල කිරීම් එලෙසින්ම නොලැබෙන බව එම පාරිභෝගික සංගමය පෙන්වා දුන්නේය.

කෙසේවුවද, අධිකරණය මෙම සංගමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ගැටලුව කුමක්ද?

Image copyright AFP

ලොව වැඩියෙන්ම අලෙවිවන දුරකථන මාදිලිවලින් ඇතැම් ඒවා නිපදවන සැම්සුන් සමාගමේ නිපැයුම් ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක වේ.

අලුතෙන් මතුවන ආරක්ෂාව පිළිබඳ තර්ජනවලට මුහුණදීම සඳහා නිරන්තරයෙන් මෘදුකාංග යාවත්කාලීන කරන ගූගල් සමාගම තම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන සැම්සුන් වැනි දුරකථන නිෂ්පාදන සමාගම්වලට සපයයි. තම පාරිභෝගිකයන් වෙත යාවත්කාලීන කරන ලද එම මෘදුකාංග බෙදාහැරීම බොහෝවිට දුරකථන නිෂ්පාදකයන්ට අයත් කාර්යයකි.

"කාලානුරූපීව" අවශ්‍ය යාවත්කාලීන කිරීම් සැම්සුන් සමාගම තම පාරිභෝගිකයන්ට සැපයීම නොකරන බවට අදාළ පාරිභෝගික සංගමය චෝදනා කළේය.

පැරණි ජංගම දුරකථන සඳහා ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන කිරීමක් බොහෝවිට මුළුමනින්ම නොලැබෙන බව ඔවුහු පැවසූහ. අවම වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් සිව් වසරක් දක්වා හෝ එසේ නොමැති නම්, අලෙවිය අවසන් කිරීමෙන් දෙවසරක් දක්වා හෝ තම දුරකථන සඳහා සේවා සැපයියයුතු බව මෙම පාරිභෝගික සංගමය යෝජනා කරයි.

සැම්සුන් සමාගම මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශය කුමක්ද?

දුරකථනය වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් දෙවසරක් යනතෙක් නෙදර්ලන්ත පාරිභෝගිකයන්ට මෘදුකාංග යාවත්කාලීන කිරීම් නියත වශයෙන්ම ලැබෙන බව සහතිකව තිබූ බව සැම්සුන් සමාගම පැවසීය.

අවශ්‍ය තොරතුරු වෙබ් අඩවියේ ඇතුළත් වන බව පවසන සැම්සුන් සමාගම, තම වගකීම පිළිබඳ නෙදර්ලන්ත බසින් වූ සිය වෙබ් අඩවියේ ඉහළින්ම දක්වා ඇති බව කියා සිටියේය.

නව මෘදුකාංග අදාළ උපාංගයට යෙදීමේ හැකියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව, යාවත්කාල කිරීම් "ප්‍රමාණවත් කාලරාමුවක් තුළ" නිකුත් කරන බව සමාගම පවසයි.

අධිකරණයේ අදහස කුමක්ද?

Image copyright Getty Images

"අනාගත කටයුතු" සම්බන්ධයෙන් නඩු පැවරීම "පිළිගත නොහැකි බව" ප්‍රකාශ කරමින් සැම්සුන් සමාගමට වාසිවන ලෙස අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

අධිකරණ තීන්දුව "කලකිරීම්" ඇතිකරවන නමුත්, නීති ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් "යම් ජයග්‍රහණයක් ලබාගත් බව" පාරිභෝගික සංගමය සඳහන් කළේය.

"අධිකරණ වැඩපිළිවෙල අතරේදී පාරිභෝගිකයන්ට හොඳින් තොරතුරු සැපයීමට සැම්සුන් සමාගම කටයුතු කළා" යැයි ද සංගමය කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර